එසකියෙල් 4

4
වැටලීමේ පෙර ලකුණු
1“මනුෂ්‍ය පුත්‍රය, මැටි පුවරුවක් ගෙන, එය ඔබ ඉදිරියෙහි තබා, ඒ මත පුරවරයක, එනම් යෙරුසලමේ සිතියම අඳින්න. 2පසුව, ඊට වැටලුමක් පනවන්න. වැටලුම් පවුරක් ගොඩ නගා, ඒ දක්වා වූ ගොඩැල්ලක් තනවා, එපුරට එරෙහිව කඳවුරු බඳවා, පුර පවුරු බිඳ හෙළීමේ යුද්ධ උපකරණ එපුර වටා සිටුවන්න. 3ඉන්පසු යකඩ තැටියක් ගෙන, ඔබත්, පුරවරයත් අතර යකඩ තාප්පයක් කොට එය තබා, එදෙසට ඔබේ මුහුණ හරවන්න. එය වටලනු ලබනු ඇත. එය වටලන්නා, ඔබ ය. ඉශ්‍රායෙල් වංශයට එය පෙර ලකුණක් වන්නේ ය.
4“දැන් ඔබ, ඔබේ වම් පැත්තට වැතිර සිටිමින්, ඉශ්‍රායෙල් වංශයේ පාප, ඔබ පිට දරා සිටින්න. ඔබ කොපමණ දවසක් ඒ පැත්තට වැතිර සිටින්නේ ද එපමණ කාලයක් ඔවුන්ගේ පාප දරා සිටිය යුතු ය. 5ඔවුන්ගේ පාප අවුරුදු ගණනට අනුකූලව දවස් ගණන මම ඔබට නියම කරන්නෙමි. මෙසේ දවස් තුන්සිය අනූවක් ඔබ ඉශ්‍රායෙල් වංශයේ පාපය දරනු ඇත.
6“ඔබ එය නිම වූ පසු යළි වැතිරගන්න. මෙවර යූදා වංශයේ පාපය දරා ගනිමින් ඔබේ දකුණු පැත්තට වැතිරෙන්න. එක් වසරකට එක් දිනක් බැගින් මම ඔබට දවස් හතළිහක් නියම කරමි. 7යෙරුසලමේ වැටලුම දෙසට ඔබේ මුහුණ යොමා, නිරාවරණ බාහුවෙන් යුතු ව, ඊට එරෙහිව දිවැස් වැකි කියන්න. 8ඔබේ වැටලීමේ දවස් ඔබ සම්පූර්ණ කරන තෙක්, එක් අතෙකින් අනෙක් අතට හැරෙන්නට ඔබට නො හැකි වන සේ මම ලණුවකින් ඔබ බැඳ දමන්නෙමි.
9“ඔබ සඳහා තිරිඟු හා යව ද බෝංචි හා කොල්ලු ද මෙනේරි හා තණහාල් ද ගෙන, එක ම බඳුනක දමා, ඔබට රොටි තනා ගැනීමට යොදාගන්න. ඔබ පැත්තට වැතිරී සිටින තුන්සිය අනූ දවසේ ඔබ අහරට ගත යුත්තේ ඒවා ය. 10දවසක පරිභෝජනයට ෂෙකෙල් විස්සක්#4:10 ග්‍රෑම් 230ක් පමණ. බර ආහාර කිරාගෙන, නියම කර ගත් වේලාවන්හි දී ඒවා අනුභව කරන්න. 11තවද පානය සඳහා ජලය හිනකින් හයෙන් පංගුවක්#4:11 ලීටර් 0.6ක් පමණ. මැන, නියම කර ගත් වේලාවන්හි දී එයින් බොන්න. 12යව-කැටි-කැවිලි සේ ඔබ එය අනුභව කළ යුත්තේ, ජනයාගේ ඇස් පනා පිට මිනිස් අශූචිවලින් ඒවා පුලුස්සා ගැනීමෙනි.” 13ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙපරිද්දෙන් ඉශ්‍රායෙල් ජනයා මවිසින් ඔවුන් පලවා හරිනු ලබන තැන්හි ජාතීන් අතරෙහි අපවිත්‍ර ආහාර බුදිනු ඇතැ” යි පැවසූ සේක.
14එවිට මම කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මම කිසි දිනෙක මා අපවිත්‍ර කර නො ගත්තෙමි. මගේ යොවුන් වියේ පටන් මේ දක්වාත් ඉබේ මළ සතකු හෝ වන සතුන් විසින් ඉරා දමන ලද සතුන් හෝ අහරට නො ගතිමි. අපවිත්‍ර මසක් කිසි දින මගේ මුවට ඇතුළු නො විණැ” යි කීවෙමි.
15උන්වහන්සේ මට පිළිතුරු දෙමින්, “හොඳයි, මිනිස් අශූචි වෙනුවට ගොම මත ඔබේ රොටි පුලුස්සා ගැනීමට මම ඉඩ දෙන්නෙමි” යි පැවසූ සේක.
16ඉන්පසු උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමෙහි ආහාර සැපයුම සිඳ දමන්නෙමි. කිරාගත් සීමිත ආහාර සලාකය කනස්සල්ලෙන් බුදින ඔවුහු මැන ගන්නා ලද සීමිත ජල පොද දොම්නසින් යුතු ව පානය කරනු ඇත. 17මන්ද ආහාර ද ජලය ද දුර්ලභ වෙයි. එකිනෙකා දැකීමෙන් ඔවුහු තැති ගනු ඇත. තමන්ගේ පාප නිසා ඔවුහු නැති නාස්ති වී යන්නෝ යැ” යි පැවසූ සේක.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 4: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න