එසකියෙල් 37

37
වියළි ඇටකටු
1 ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට විය. උන්වහන්සේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මගින් මා පිටතට ගෙනවුත්, මිටියාවතක් මැද මා සිටුවී ය. එය ඇටකටුවලින් පිරී තිබිණ. 2ඒවා අතරෙහි උන්වහන්සේ, මා ඔබ මොබ ගෙන ගිය සේක. මිටියාවත් බිමේ ඇටකටු අති මහත් ගොන්නක් මම දිටිමි. ඒ ඇටකටු බෙහෙවින් වියළී තිබිණ. 3උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ?” යි ඇසූ සේක.
මම උත්තර දෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ පමණක් එය දන්නා සේකැ” යි කීවෙමි.
4එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! 5මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම#37:5 හුස්ම හෙබ්‍රෙව් බසින් සුළඟ හෝ ආත්මය යන අරුත ද ගත හැක. පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත. 6මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ.
7එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. 8මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය.
9එවිට උන්වහන්සේ මා අමතමින්, “දිවැසි වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, හුස්මට දිවැසි වැකි පවසමින්, ඊට මෙසේ කියන්න. ‘එම්බා ජීවන හුස්ම, සතර සුළං වෙතින් පැමිණ සිටින, මැරුම් කනු ලැබ සිටින මොවුන් යළි ජීවත් වන පිණිස, මොවුන් තුළට හුස්ම හෙළනු! යි’ පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක කියා කියන්නැ” යි පැවසූ සේක. 10එබැවින් උන්වහන්සේ මට අණ කළ පරිදි මම දිවැසි වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට වන්නේ ය. ඔවුහු යළි ජීවනයට පැමිණ, තම දෙපයින් සිටගත්තාහු, අති මහත් සේනාවක් වූහ.
11ඉන්පසු උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු සමස්ත ඉශ්‍රායෙල් වංශයයි. ඔවුන් කියන්නේ, ‘අපගේ ඇටකටු වියළී, අපගේ බලාපොරොත්තු සුන්වී, අප මුළුමනින් ම කැපී ගොසිනි’ කියා ය. 12එබැවින්, දිවැසි වැකි පවසමින් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එම්බා මගේ ජනයිනි, මම නුඹලාගේ මිනීවළවල් විවර කර, ඒවායින් නුඹලා නැගුටුවන්නෙමි. ඉශ්‍රායෙල් දේශයට මම නුඹලා නැවත ගෙනෙන්නෙමි. 13එවිට, මගේ ජනයිනි, මා නුඹලාගේ මිනීවළවල් විවර කොට, ඒවා වෙතින් නුඹලා නැගිට වූ කල, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත. 14මම මගේ ආත්මය නුඹලා තුළ තබන්නෙමි. නුඹලා ජීවත් වනු ඇත. නුඹලාගේ ම දේශයෙහි මම නුඹලා පදිංචි කරවන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ වන මා එය පැවසූ වග ද එය ඉටු කළ වග ද නුඹලා දැනගන්නවා ඇත කියා ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ සේකැ’ යි” කියන්න.
එක රජකු යටතේ
15 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, කියනුයේ, 16“මනුෂ්‍ය පුත්‍රය, ලී කෝටුවක් ගෙන, ‘යූදාට සහ ඔහුගේ හවුල්කාර මුළු ඉශ්‍රායෙල් ජනයාට අයත්යැ’ යි ඒ පිට ලියන්න. ඉන්පසු තවත් ලී කෝටුවක් ගෙන, ‘යෝසෙප්ට සහ ඔහුගේ හවුල්කාර මුළු ඉශ්‍රායෙල් වංශයට අයත් එප්‍රායිම්ගේ ලීය යැ’ යි ඒ පිට ලියන්න. 17ඔබේ අතෙහි ඒවා එක් ලී කෝටුවක් වන ලෙස ඒ දෙක එකට යා කරන්න.
18“එවිට ඔබේ ජනතාව ඔබ අමතා, ‘මෙයින් ඔබ අදහස් කළේ කුමක් ද යන්න අපට කියන්නේ නැති දැ?’ යි ඇසූ කල, 19ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම එප්‍රායිම් අතෙහි ඇති යෝසෙප්ගේ ද ඔහුගේ හවුල්කාර ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශිකයින්ගේ ද ලී කෝටුව ගෙන, යූදාගේ ලී කෝටුව හා යා කර, එක් ලීයක් කරන්නෙමි. මගේ අතෙහි ඔවුන් එකක් ම වන්නේ යැ’ යි කියන්න. 20මෙසේ ඔබ විසින් ලියන ලද ලී කෝටු, ඔවුන් ඉදිරියේ පෙනී තිබියදී, 21ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඉශ්‍රායෙල්වරුන් පිට මං ව ගොස් සිටින ජාතීන් අතරින් මම ඔවුන් ගෙනෙන්නෙමි. මුළු වටාපිටාවෙන් මම ඔවුන් එක් රැස් කොට, ඔවුන්ගේ ම දේශයට යළි ඔවුන් ගෙනෙන්නෙමි. 22මම ඉශ්‍රායෙල් කඳු මත, මේ දේශය තුළ ඔවුන් එක ම ජාතියක් කරන්නෙමි. ඔවුන් සියලු දෙනාට ම එක් රජකු වන්නේ ය. යළි කිසි කලෙක ඔවුන් ජාතීන් දෙකක් වන්නේවත්, රාජ්‍ය දෙකකට බෙදෙන්නේවත් නැත. 23තමන්ගේ දේව පිළිමවලින් හා ඔවුන්ගේ පිළිකුල්කම්වලින් හෝ අන් කවර පාපයකින් හෝ තවදුරටත් ඔවුන් අපවිත්‍ර වන්නේ නැත. මන්ද ඔවුන්ගේ පාපී සියලු පසුබටවීම්වලින්#37:23 පසුබටවීම්වලින් හෙවත් ඔවුන් පව් කළා වූ සියලු වාසස්ථානවලින් මම ඔවුන් ගලවන්නෙමි. මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නේ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
24“ ‘මගේ සේවක දාවිත් ඔවුන්ගේ රජු වන්නේ ය. මෙසේ ඔවුන් සියල්ලන්ට එක් එඬේරකු වන්නේ ය. ඔවුන් මගේ නියමයන් පිළිපදිමින්, මගේ නියෝග රක්ෂා කරන්නට වග බලා ගනු ඇත. 25මගේ සේවක යාකොබ්ට මා දුන් දේශය වන ඔබගේ පියවරුන් විසූ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත. ඔවුන් ද ඔවුන්ගේ දරුවන් ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවන් ද සදහට ම එහි වාසය කරනු ඇත. මගේ සේවක දාවිත් සදහට ම ඔවුන්ගේ අධිපතියා වන්නේ ය. 26මම ඔවුන් සමඟ සාම ගිවිසුමක් කරන්නෙමි. එය සදාතන ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන් ස්ථාපන කර, ගණනින් ඔවුන් වර්ධන කරන්නෙමි. මම ඔවුන් අතරෙහි මගේ ශුද්ධස්ථානය සදාතනික ව පිහිටු වන්නෙමි. 27මගේ වාසස්ථානය ද ඔවුන් සමඟ වන්නේ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනයා වන්නෝ ය. 28මගේ ශුද්ධස්ථානය, සදහට ම ඔවුන් අතරෙහි වන කල, ඉශ්‍රායෙල් ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මා වග ජාතීන් දැනගන්නවා ඇතැ’ ” යි පැවසූහ.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 37: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න