එසකියෙල් 32

32
පාරාවෝ ගැන විලාපය
1දොළොස් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ පළමු දවසේ, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. 2“මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තු රජු වන පාරාවෝ ගැන විලාපයක් නගමින්, ඔහුට මෙසේ කියන්න:
“ ‘ජාතීන් අතරෙහි නුඹ සිංහයකු වැන්න.
නුඹ ජලයේ සිටින යෝධ මකරකු වැන්න.
නුඹ දියපහරවල ඒ මේ අත දඟලා,
නුඹ එම දිය පාරවල් බොර කරමින්,
නුඹේ පාදවලින් ජලය කැලඹුවෙහි ය.
3“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘බොහෝ ජන පිරිසක් සමඟ
මම නුඹ පිට මගේ දැල එළන්නෙමි.
එවිට ඔවුන් මගේ දැලෙන් නුඹ ගොඩට අදිනු ඇත.
4මම නුඹ ගොඩට විසිකර,
එළිමහන් පිටියෙහි නුඹ හෙළා දමන්නෙමි.
අහසේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්,
වනයේ සියලු සතුන්ට නුඹ ගිල දමන්නටත් මම ඉඩ හරිමි.
5මම නුඹේ මස්, කඳු පිට අතුරා,
නුඹේ ඇටකටුවලින් මිටියාවත් පුරවන්නෙමි.
6ගලා යන නුඹේ ලෙයින්,
මම කඳු දක්වා එක දිගට ම දේශය පොඟවන්නෙමි.
ගිරි කඳුරු ද නුඹෙන් ම පුරවනු ලැබේ.
7මා නුඹ නිවා දමන කල, මම අහස් ආවරණ කර,
ඒවායේ තාරකා අඳුරු කරන්නෙමි.
මම වලාවකින් හිරු වසාලන්නෙමි.
සඳු එහි එළිය විහිදනු නැත.
8අහසේ සියලු දිදුලන එළි,
මම නුඹට ඉහළින් අඳුරු කර,
නුඹේ දේශය පිට අන්ධකාරය ගෙනෙන්නෙමි’ යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
9ඔබ නො දැන සිටි දේශ දේශයන්හි දී,
මම නුඹේ විනාශය ගෙනෙන කල,
බොහෝ ජනයාගේ හදවත් මම කලඹවන්නෙමි.
10බොහෝ ජනයා නුඹ දෙස තැතිගැන්මෙන් බලන්නට මම සලස්වමි.
ඔවුන්ගේ රජුන් ඉදිරියෙහි මම මගේ කඩුව ලෙළවන කල,
එම රජුන් නුඹ නිසා භයින් වෙවුලනු ඇත.
නුඹේ වැටීමේ දවසේ
ඒ සැවොම හැම මොහොතක ම
තම ජීවිතය ගැන වෙවුලනු ඇත.
11“ ‘මන්ද, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘බබිලෝනි රජුගේ අසිපත
නුඹට එරෙහිව පැමිණෙන්නේ ය.
12සියලු ජාතීන් අතරින් රුදුරුතමයින් වූ
බලවත් මිනිසුන්ගේ කඩුවෙන්
මම නුඹේ ජන සමූහයා වැටී යන්නට සලස්වන්නෙමි.
ඔවුන් ඊජිප්තුවේ අහංකාරය බිඳිනු ඇත.
ඇගේ ජන සමූහයා ද වනසනු ඇත.
13ජල බහුල තැන් වෙතින්
මම ඇගේ සියලු ගවයින් වනසා දමන්නෙමි.
මිනිස් පයෙකින් මින් මතු ඒ ජල කැලඹෙන්නේ නැත;
ගව කුරයකින් බොරවන්නේ ද නැත.
14ඉන්පසු ඇගේ ජල ස්ථාන පෑදෙන්නට හැර,
ඇගේ දිය පාරවල් තෙල් මෙන් ගලා යන්නට සලස්වමියි
පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
15මා ඊජිප්තුව පාළු කර දමන කල,
දේශයෙන් එහි ඇති සියල්ල හිස් කර දමන කල,
එහි වෙසෙන සියල්ලන් ගසා හෙළන කල,
ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත.’
16“ඇය උදෙසා ඔවුන් ගායනා කරන විලාප ගීය මෙයයි. ජාතීන්ගේ දූවරුන් එය ගායනා කරනු ඇත. ඊජිප්තුව උදෙසාත්, ඇගේ සියලු ජන සමූහයා උදෙසාත් ඔවුහු එය ගායනා කරති” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මළවුන් වෙත ඊජිප්තුව පහත බැසීම
17දොළොස් වන අවුරුද්දේ මාසයේ පහළොස් වන දවසේ, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 18“මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තු ජන සමූහයා උදෙසා වැලපී, නරාවළට බැස යන්නවුන් සමඟ ඇයත්, බලවත් ජාතීන්ගේ දූවරුනුත් පොළොව යටට බාර දෙන්න. 19ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ අන් අයට වඩා භාග්‍යවත් ද? පහළ බැස චර්ම-අඡේදිතයින් අතරේ වැදහොවින්න.’ 20කඩුවෙන් මරනු ලැබූවන් අතරේ ඔවුන් වැටී යනු ඇත. කඩුපත අමෝරා තියේ. ඇගේ මුළු සමූහයා සමඟ ඇය පිටතට ඇදගෙන යත්වා! 21ෂෙයෝලයෙහි#32:21 පාතාලයෙහි හෙවත් මළවුන්ගේ ස්ථානයෙහි වූ ප්‍රබල නායකයෝ ඊජිප්තුව ගැනත්, ඇගේ හවුල්කරුවන් ගැනත් කතා කරමින්, ‘ඔවුන් පහළට බැස ඇවිදින්. කඩුවෙන් මැරුම් කෑවුන් සමඟ, චර්ම-අඡේදිතයන් සමඟ ඔවුන් වැදහොවිනු ඇතැ’ යි කියති.
22“වැළලුණු ඇගේ මුළු හමුදාවේ මිනී වළවලින් වට ව, අසිරියාව එහි ය. ඒ සියල්ලෝ කඩු මුවහතින් වැටී ගියාහු ය. මැරුම් කෑවාහු ය. 23ඔවුන්ගේ මිනීවළවල්, නරාවළ පත්ලෙහි ම වෙයි. ඇගේ හමුදාව, ඇගේ සොහොන වටා වැද හොවති. ජීවතුන්ගේ දේශයෙහි තම භීතිය පතුරුවා තිබූ ඒ සියල්ලෝ කඩු මුවහතින් වැටිණි; සිඳිනු ලැබිණි.
24“තම මිනී වළ වටා වැළලුණු තම මුළු සමූහයා ද ඇති ව ඒලාම් ද එහි ය. ඒ සියල්ලෝ කඩු මුවහතින් වැටී ගියාහු ය; ඝාතනයට ලක් වූවාහු ය. ජීවතුන්ගේ දේශයෙහි භීතිය පැතිර වූ සියල්ලෝ චර්ම-ඡේදනය නො ලැබ පොළෝ යටට බැස ගියාහු ය. නරාවළට බැස යන්නවුන් සමඟ ඔවුහු තමන්ගේ නින්දාව දරති. 25ඇගේ මිනී වළ වටා, ඝාතන කෙරුණු ඇගේ මුළු හේවා සමූහයා සමඟ, මරා දමනු ලැබූවන් අතරේ ඇයට යහනක් නිම වන ලදී. ඒ සියල්ලෝ චර්ම-අඡේදිතයෝ ය; කඩුවෙන් මරනු ලැබුවාහු ය. වරක් ජීවතුන්ගේ දේශයෙහි තම භීතිය පතුරුවා තිබූ ඔවුහු නරාවළට බැස ගියවුන් සමඟ තම නින්දාව දරති. ඔවුහු මරා දමනු ලැබූවන් සමඟ වැද හොවති.
26“තම මිනී වළ වටා වැළලුණු තම මුළු සමූහයා ද සහිත ව මෙෂෙක්-තුබල් එහි ය. ජීවතුන්ගේ දේශයෙහි තම භීතිය පතුරුවා තිබූ ඔවුහු චර්ම-අඡේදිතයෝ ය; කඩුවෙන් මරනු ලැබුවාහු ය. 27තම අසිපත් තම හිස් යට තබනු ලැබ, තම යුද-අවි සමඟ මිනී වළට බට, වැටී ගියවුන් වන සෙසු චර්ම-අඡේදිත විරුවන්#32:27 විරුවන් එනම් පුරාතනයන් යන අරුත ද ගත හැක. සමඟ ඔවුහු වැදහෙව නො සිටිති. මේ රණකාමීන්ගේ භීතිය ජීවතුන්ගේ දේශය මුළුල්ලේ බල පා තිබූ නමුදු, ඔවුන්ගේ පාපවල දඬුවම ඔවුන්ගේ ඇටකටුවල තිබේ.
28“එලෙස නුඹත්, බිඳ දමනු ලැබ, කඩුවෙන් මරනු ලැබූ චර්ම-අඡේදිතයන් අතරේ වැදහොවිනු ඇත.
29“ඇගේ රජුන් ද ඇගේ සියලු අධිපතීන් ද යන වශයෙන් ඒදොම් ද එහි ය. ඇගේ බලය නො සලකනු ලදුව, කඩුවෙන් මරනු ලැබූවන් සමඟ ඇය ද බාවනු ලැබ ඇත. ඔවුහු නරාවළට බැස යන චර්ම-අඡේදිතයන් සමඟ වැද හොවති.
30“උතුරේ සියලු අධිපතීන් ද සියලු සීදොන්වරු ද ඝාතනයට ලක්වූවන් සමඟ බැස ගොස් එහි ය. ඔවුන්ගේ බලය හේතු කොට පැතිර වූ ඔවුන්ගේ භීතිය, එසේ ම තිබියදීත් කඩුවෙන් මරනු ලැබූවන් සමඟ ඔවුහු චර්ම-අඡේදිත ව ලැග සිටිති; නරාවළට බැස යන්නන් සමඟ ඔවුහු තමන්ගේ නින්දාව ද දරා ගනිති.
31“පාරාවෝ එය දැක, තම සියලු සමූහයා ගැන සනසනු ලබන්නේ ය. පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද කඩුවෙන් මරා දමනු ලබනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 32ජීවතුන්ගේ දේශයෙහි මා ඔහු ලවා භීතිය පැතුර වූ නමුදු පාරාවෝ සහ ඔහුගේ මුළු සමූහයා ද කඩුවෙන් මරනු ලැබූවන් සමඟ චර්ම-අඡේදිතයන් අතරේ වැදහොවිනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 32: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න