එසකියෙල් 3:12-27

එසකියෙල් 3:12-27 SCV

ඉන්පසු ආත්මයාණන්වහන්සේ ඉහළට මා එසවූ සේක. එවිට, මහා ගිගුරුම් හඬක් මට පිටුපසින් ඇසිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය උන්වහන්සේගේ වාස භවනේ සිට ප්‍රශංසාවට පත් වේවා! ජීවමාන සත්වයින්ගේ පියාපත්, එකටෙක ඇතිල්ලෙන හඬ ද ඔවුන්ට පසෙකින් වූ රෝදවල හඬ ද මහා ගිගුරුම් හඬක් විණ. මෙසේ, ආත්මයාණන්වහන්සේ මා ඔසවාගත් සේක්, මා ඉවත ගෙන ගිය සේක. මා ගියේ දැඩි තික්තකමකින් ද මා ආත්මයේ වූ කෝපයෙන් ද යුතු ව මා පිට තැබූ ස්වාමින්වහන්සේගේ බලවත් හස්තය ද ඇති ව ය. කෙබාර් නදිය අසබඩ තේල්-ආබීබ්හි වාසය කළ පිටුවහල් ව සිටි ජනයා වෙත මම පැමිණියෙමි. මම එතැන, ඔවුන් විසූ තැන, ඔවුන් මධ්‍යයේ හිඳ හත් දවසක් වික්ෂිප්ත ව, බලා සිටියෙමි. දවස් හතක් අවසානයේ ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න. දුෂ්ට මිනිසකුට මා කතා කොට, ‘ඒකාන්තයෙන් ම නුඹ නසින්නේ යැ’ යි මා කී විටෙක, ඔහුගේ දිවි රැකෙන ලෙස ඔබ ඔහුට අවවාද නො කරන්නේ නම් හෝ ඔහුගේ නපුරු මාර්ග වළක්වා ගැනීමට ඔහුට අනතුරු නො අඟවන්නේ නම්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. එහෙත් ඔබ ඒ දුෂ්ට මිනිසාට අවවාද කළ නමුදු, ඔහු තම දුෂ්ටකමින් හෝ තම නපුරු මාර්ගයෙන් ඉවත නො හැරේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත. “තවද, දමිටු මිනිසකු තම දමිටුකමින් ඉවත හැරී, දුෂ්ටකම් කරන කල, මා ඔහු ඉදිරියේ වැටීයෑමේ හේතුවක් තැබීම නිසා, ඔහු මියෙනු ඇත. ඔබ ඔහුට අනතුරු ඇඟවීමක් නො කළ බැවින්, ඔහු ඔහුගේ ම පාපයෙන් මැරෙනු ඇත. ඔහු විසින් කරන ලද දමිටු ක්‍රියා ද සිහි නො කෙරේ. එහෙත්, ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. එනමුදු, පව් නො කරන්නට දමිටු මිනිසාට ඔබ අවවාද කළෙන්, ඔහු පව් නො කර සිටී නම්, සැබවින් ම ඔහු ජීවත් වන්නේ ය. ඒ, ඔහු අවවාදය පිළිගත් නිසා ය. ඔබත්, ඔබේ දිවි ගලවාගෙන ඇත.” ස්වාමින්වහන්සේගේ හස්තය එහිදී මා පිට විණ. උන්වහන්සේ මා අමතමින්, “නැගිටින්න, පිටත තැනිතලාවට යන්න. එහිදී මා ඔබට කතා කරන්නෙමි” යි කී සේක. එබැවින් මම නැගී සිට, තැනිතලාවට පිටත් ව ගියෙමි. එවිට මෙන්න, කෙබාර් නදිය අසබඩ මා දුටු පරිද්දෙන් ම ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය එහි නැගී සිට! මම මුහුණ බිමට නමා වැඳ වැටුණෙමි. එවිට ආත්මයාණෝ මා තුළට ඇතුළු ව, මා නැගිට සිට වූ සේක්, මා අමතමින්, “යන්න; ඔබේ ගෙතුළට වැද, දොර වසා ගන්න. මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කඹවලින් ඔබ වෙළා, ජනයා අතරට යා නො හැකි වන සේ, ඔබ බැඳ දමනු ඇත. ඔවුනට තරවටු කිරීමට ඔබට නො හැකි වන පරිදි ඔබ නිහඬ කරවමින්, මම ඔබේ දිව ඔබේ උඩු තල්ලේ ඇලෙන්නට සලස්වන්නෙමි. මන්ද, ඔවුන් කැරලිකාරී වංශයකි. එහෙත් මා ඔබට කතා කරන විට මම ඔබේ මුව විවර කරමි. එවිට ඔබ ඔවුන්ට කතා කොට, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැ’ යි කිය යුතු ය. ප්‍රතික්ෂේප කරන්නෝ ප්‍රතික්ෂේප කරත්වා! මන්ද, ඔවුන් කැරලිකාරී වංශයකි” යි පැවසූහ.