එසකියෙල් 26
26
තීර්ට එරෙහිව
1එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු දවසේ ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, තීර්, යෙරුසලම ගැන සඳහන් කරමින්, ‘අහා! ජාතීන්ගේ දොරටුව කඩා දමනු ලැබ, එහි දොරවල් සපුරාම මට ඇරී තියේ. ඇය දැන් ජරාවාස ව වැටී සිටින බැවින්, මම සඵල වන්නෙමි’ යි කියා ඇත. 3එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එම්බා තීර් මම නුඹට විරුද්ධ ව සිටිමි. මම ජාතීන් බොහොමයක් නුඹට එරෙහිව පෙළගස්වන්නේ, මුහුද එහි රළ රැළි උඩ නංවන පරිද්දෙනි. 4ඔවුහු තීර්හි පවුරු විනාශ කර දමන්නෝ ය. එහි බළකොටු කුලුනු බිඳ හෙළන්නෝ ය. මම ඇගේ සුන්බුන් සූරා දමා, ඇය මුඩු පර්වතයක් කරන්නෙමි. 5ඇය මුහුද මධ්‍යයෙහි මාළු දැල් අතුරන ස්ථානයක් බවට පත් වේ. මන්ද මම කතා කළෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඇය ජාතීන්ට කොල්ලයක් වනු ඇත. 6ඇගේ ගොඩ බිමෙහි ඇති ඇගේ ජනාවාස, කඩු ගා දැමෙනු ඇත. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත.
7“මන්ද පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම තීර්ට එරෙහිව රජුන්ගේ රජු වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් උතුරේ සිට ගෙනෙන්නෙමි. අශ්වයින් ද අස්රිය ද අසරු බළ ඇණියක් හා මහා සේනාවක් ද ඒ සමඟ එනු ඇත. 8නුඹේ ගොඩ බිමේ ඇති නුඹේ ජනාවාස ඔහු කඩු ගා දමනු ඇත. ඔහු නුඹට එරෙහිව වැටලුම් ලා, නුඹේ පවුරු උසට ගොඩැලි තනා නුඹට එරෙහිව ඔහුගේ පලිහ ඔසවනවා ඇත. 9ඔහු නුඹේ පුර පවුරුවලට එරෙහිව පවුරු බිඳීමේ යුද්ධෝපකරණයෙන් පහර එල්ල කොට, තම ආයුධවලින් ඔබගේ කුලුනු බිඳ හෙළනු ඇත. 10ඔහුගේ අශ්වයින් ඒ සා බොහෝ වන බැවින්, ඔවුන්ගේ දූවිල්ලෙන් ඔබ වැසී යනු ඇත. පුර පවුරු බිඳ දමන ලද පුරවරයකට මිනිසුන් ඇතුළු වන්නා සේ, ඔබගේ දොරටු තුළින් ඔහු ඇතුළු වන කල, යුද්ධ අශ්වයින්ගේ ද අශ්ව කරත්ත හා යුද්ධ රථවල ශබ්දයට ඔබේ පුර පවුරු දෙදරනු ඇත. 11ඔබගේ සියලු වීදි ඔහුගේ අශ්වයින්ගේ කුරවලින් පාගා දැමෙනු ඇත. ඔහු ඔබගේ ජනයා කඩු ගා දමනු ඇත. ඔබගේ බල කණු ද බිම ඇද වැටෙනු ඇත. 12ඔවුන් ඔබගේ ධනය කොල්ලකා, ඔබගේ වෙළඳ බඩු පැහැර ගනු ඇත. ඔබගේ පවුරු බිඳ හෙළා, ඔබගේ අනගි නිවෙස් වනසා, ඔබගේ ගල් ද ලී ද සුන්බුන් කැබලි ද මුහුදේ හෙළනු ඇත. 13ඔබේ ඝෝෂාකාරී ගීත නාද නවතාලන්නෙමි. ඔබේ වීණා-සංගීත නාද තවත් ඇසෙනු නැත. 14මුඩු පර්වතයක් බවට මම නුඹ පත් කරන්නෙමි. මාළු දැල් වියළන තැනක් බවට නුඹ පත් වෙයි. මතු කිසි දින සදහට ම නුඹ යළි ගොඩ නගනු නො ලැබේ. මන්ද ස්වාමින්වහන්සේ වන මම එසේ පැවසුවෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක.
15“පරමාධිපති ස්වාමින්වහන්සේ තීර්ට මෙසේ කියන සේක: තුවාලකරුවන් කෙඳිරිගාද්දී, නුඹ ඇතුළත ඝාතන සිදු කෙරෙන කල, නුඹගේ ඇද වැටීමේ ශබ්දයට මුහුදුබඩ පෙදෙස් සලිත වන්නේ නැති ද? 16එවිට මුහුදු වෙරළබඩ පෙදෙස්හි සියලු අධිපතීන් තම සිහසුන්වලින් බැස ඇවිත්, තම පිට කබා පසෙක ලා, තම ගෙත්තම් සළු පිළි ගලවා දමනු ඇත. ඔවුන් භීතියෙන් වෙළී, බිම හිඳගෙන, මොහොතක් පාසා වෙවුල වෙවුලා, නුඹ ගැන තැති ගනු ඇත. 17ඉන්පසු ඔවුන් නුඹ ගැන විලාප ගී ගයමින්, මෙසේ පවසනු ඇත:
“ ‘මුහුදුකරුවන්ගෙන් ගහන ව තිබූ,
එම්බා කීර්තිමත් පුරය, නුඹ වැටී ගොස් ඇති හැටි!
මුහුදේ බලය ව සිටියෝ,
නුඹ හා නුඹේ පුරවැසියෝ ය.
එහි විසූ සියල්ලන් පිට
නුඹලාගේ භීතිය පැටවූවෝ ද නුඹලා ම ය.
18දැන්, නුඹේ වැටීමේ දවසේදී
මුහුදුබඩ පෙදෙස් වෙවුලයි.
මුහුදේ දිවයින්
නුඹේ විනාශයේදී භය වෙයි.’
19“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: තවදුරටත් මිනිස් වාසය නො ලබන පුරවර සේ, පාළු පුරයක් බවට මා නුඹ පමුණු වන කල්හි සහ සාගර ගැඹුර නුඹ පිටට පමුණුවා එහි මහා ජල කඳින් මා නුඹ වසා දමන කල්හි, 20ඈත අතීතයේදී නරාවළට බැස ගිය ජනයා වෙතට මම නුඹ හෙළා දමන්නෙමි. නරාවළට බැස ගියවුන් සමඟ ඉපැරණි ජරාවාස සේ, මම නුඹ පාතාලයේ වාසය කරවන්නෙමි. නුඹට ආපසු ඒමක් නැත. නුඹ, ජීවතුන්ගේ දේශයේ නුඹේ තැන ලබන්නේ ද නැත. 21මම නුඹට භයංකර අවසානයක් පමුණු වන්නෙමි. ඉන්පසු තවත් නුඹ නැත. සොයනු ලැබුව ද, තවත් කිසි දා යළිත් නුඹ හමු නො වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 26: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.