එසකියෙල් 24
24
යෙරුසලම් කල්දේරම
1නව වන අවුරුද්දේ දස වන මස දස වන දවසේ ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. 2“මනුෂ්‍ය පුත්‍රය, මේ දවස-මේ අද දවස සටහන් කර ගන්න. මන්ද බබිලෝනියේ රජු මේ අද දවසේ යෙරුසලම වටලා ඇති බැවිනි. 3මෙම කැරලිකාරී වංශයට උපමා කතාවක් කියන්න. ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘කල්දේරම ලිප තබන්න. එය ලිප මත තබා,
ඊට ජලය වත් කරන්න.
4ඉන්පසු මස් කැබලි එහි බහාලන්න;
පස්සා ගාතය හා ඉස්සරහ ගාතය යන ඉතා හොඳ කැබලි හා
ඉතා හොඳ කටුවලින් එය පුරවන්න.
5එළු බැටළු රංචුවෙන් තෝරාගත් එවුන් ගෙන,
ඊට යටින් දර කැබලි තබන්න.
කටු පවා තැම්බෙන තුරු
හොඳාකාර තැම්බෙන්නට හරින්න.
6මන්ද, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘දැන් මලකඩ අල්ලා ඇති කල්දේරම වන
ලේ තැවරුණු පුරවරයට දුක්-විපත් වේ!
එහි බැඳුණු මලකඩ එයින් පහව යන්නේ නැත.
තෝරා බේරා නො ගෙන,
මස් කෑල්ලෙන් කෑල්ල පිටතට ගන්න.
7“ ‘ඇය හැලූ ලේ, ඇය මධ්‍යයෙහි ම ය.
ඇය ඒවා හලා ඇත්තේ, ගල් පර්වතය පිට ය.
ඒවා දූවිල්ලෙන් වැසී යන ලෙස
ඇය ඒවා භූමිය පිට හැලුවේ නැත.
8උදහස අවුස්සන්නටත්, පළි ගැනීමටත්
ඇගේ ලේ පර්වතය පිට මා තැබුවේ,
ඒවා වසා දමනු නො ලබන පිණිස ය.
9එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘ලේ වගුරන පුරවරයට දුක්-විපත් වේ.
මමත් දර ගොඩ, උසට ගොඩ ගසන්නෙමි.
10එබැවින් දර ගොඩ ගසා,
ගිනි අවුළුවන්න.
කුළු බඩු යොදා හැඳිගාමින්,
මනාව මස් පිසින්න.
ඇටකටු දැවෙන්නට හරින්න.
11ඉන්පසු හිස් කල්දේරම රත් වී,
එහි තඹ ගිනිහම් ව දිළිසෙන තෙක්, එය ගිනි අඟුරු පිට තබන්න.
එවිට එහි අපවිත්‍රතාව දියවී යනු ඇත.
එහි මලකඩ ද දහනය වී යනු ඇත.
12එහෙත් හැම පරිශ්‍රමයක් ම නිෂ්ඵල විණ.
තදින් බැඳී තිබූ මලකඩ ඉවත් කරනු නො හැකි විණ.
ගින්නෙන්වත් නො හැකි විණ.
13“ ‘නුඹගේ අපවිත්‍රතාව සල්ලාලකමයි. මන්ද, නුඹ පවිත්‍ර කිරීමට මා වැර දැරූ නමුදු, නුඹේ අපවිත්‍රතාවෙන් නුඹ පවිත්‍ර වූයේ නැත. නුඹට එරෙහි වූ මගේ උදහස සමනය වන තුරා, නුඹේ අපවිත්‍රතාවෙන් නුඹ යළි පවිත්‍ර වන්නේ නැත.
14“ ‘ස්වාමින්වහන්සේ වන මම කතා කළෙමි. මට ක්‍රියා කරන්නට කාලය එළැඹ ඇත. මම එසේ නො කර නො සිටින්නෙමි. අනුකම්පා නො කරන්නෙමි. ලිහිලක් නො දක්වන්නෙමි. නුඹේ ගති-පැවතුම හා නුඹේ ක්‍රියා අනුව නුඹ විනිශ්චය කරනු ලැබේ යැ’ යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
එසකියෙල්ගේ බිරිඳ
15 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 16“මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ඇසට රසඳුන දෑ, මම එක පහරකින් ඔබෙන් දුරු කරන්නෙමි. එසේ වුවත්, විලාප නො තබන්න. නො හඬන්න. කඳුළු නො සලන්න. 17ශබ්ද නො නගා සුසුම්ලන්න. මළවුන් උදෙසා ශෝකය නො පෙන්වන්න. ඔබේ තලප්පාව හිස බැඳ, ඔබේ පාදවල පාවහන් ලා සිටින්න. ඔබේ උඩු රැවුල පටන් පහළට මුහුණ වසා නො ගන්න. චාරිත්‍රානුකූල මළ බත ද නො වළඳන්න.”
18මෙසේ මම උදෑසන ජනතාවට කතා කළෙමි. සවස මගේ බිරිඳ මළා ය. මා අණ ලබා තිබූ පරිද්දෙන් පසු දා උදෑසන මම ක්‍රියා කළෙමි.
19එවිට ජනයා මට කතා කොට, “නුඹ කරන මේ දේවල් අපට අදාළ වන්නේ කෙසේදැයි නුඹ අපට කියා දෙන්නේ නැති දැ?” යි කීහ.
20එබැවින් මම ඔවුන්ට මෙසේ පැවසීමි, “ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ කියමින් මා වෙත පැමිණියේ ය: 21ඉශ්‍රායෙල් වංශයට මෙසේ පවසන්න; පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නාහ: ‘නුඹලාගේ ශක්තියේ අහංකාරය වූත්, නුඹලාගේ ඇස්වලට රසඳුන වූත්, නුඹලාගේ හදවත්හි අභිලාෂය වූත් මගේ ශුද්ධස්ථානය, මෙන්න මම අපවිත්‍ර කරන්නෙමි. නුඹලා විසින් දමා යන ලද නුඹලාගේ දූ පුතුන් කඩුවෙන් වැටී යනු ඇත. 22මා කළ ලෙස ම නුඹලාත් කරනු ඇත. නුඹලා නුඹලාගේ උඩු රැවුල පටන් පහළට මුහුණ වසා ගන්නේවත්, චාරිත්‍රානුකූල මළ බත අනුභව කරන්නේවත් නැත. 23නුඹලා තලප්පා නුඹලාගේ හිස බැඳ, නුඹලාගේ පාදවල පාවහන් ලා සිටිනු ඇත. නුඹලා ශෝක වන්නේ හෝ වැලපෙන්නේ නැති වුව ද නුඹලාගේ පාප නිසා නුඹලා දිරා ජරාවට යනු ඇත. තමන් තුළෙහි ම සුසුම්ලනු ඇත. 24එසකියෙල් නුඹලාට ලකුණක් වන්නේ ය. ඔහු කළ පරිද්දෙන් ම නුඹලාත් කරනු ඇත. මෙය සිදු වූ කල පරමාධිපති ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගනු ඇත.’
25“නුඹ ගැන නම් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බළකොටුව ද, ඔවුන්ගේ සොම්නස ද ඔවුන්ගේ තේජස ද ඔවුන්ගේ ඇස්වල රසඳුන ද ඔවුන්ගේ හදවත්හි අභිලාෂය ද ඒ සමඟ ඔවුන්ගේ පුතුන් හා දූවරුන් ද මා ඔවුන්ගෙන් උදුරා ගන්නා දවසේ, 26බේරී යන්නකු ඒ දවසේ ම අවුත්, සිද්ධිය නුඹට සැල කරනු ඇත. 27ඒ අවස්ථාවේ ඔබගේ මුව විවර කරනු ලැබ ඔබ ඔහු සමඟ කතා කරනු ඇත. තවත් ගොළු වී නො සිටිනු ඇත. එසේ, ඔබ ඔවුන්ට ලකුණක් වන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක.
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 24: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.