එසකියෙල් 16
16
අවිශ්වාසවන්ත බිරිඳ
1යළිත්, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙතට පැමිණියේ ය. 2“මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට ඇගේ පිළිකුල්කම් මූණට ම කියා පාමින්, 3මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ යෙරුසලමට මෙසේ පවසන සේක: ඔබේ සම්භවයත්, ඔබගේ උත්පත්තියත් කානානිවරුන්ගේ දේශයෙනි. ඔබේ පියා අමෝරි ජාතිකයෙකි. ඔබේ මව හිත්තීය කතකි. 4ඔබ උපන් දවසේ, උපතේදී ඔබේ පෙකණිවැල කැපුවේ නැත. වතුරින් ඔබ සෝදා, පවිත්‍ර කරනු ලැබුවේ ද නැත. ඔබට ලුණු ගා, ඇතුල්ලුවේවත්, රෙදි කඩකින් ඔබ ඔතනු ලැබුවේවත් නැත. 5කිසිවකු ඔබ දෙස දයාවෙන් බලා, ඒ කිසිවක් හෝ ඔබට කර දෙන ලෙස ඔබට අනුකම්පා කළේ ද නැත. ඒ වෙනුවට කරන ලද්දේ, පිටත එළිමහනෙහි ඔබ හෙළා දමනු ලැබීමයි. මන්ද ඔබ උපන් දවසේ ම ඔබ නීච කොට සැලකුණු බැවිනි.
6“ ‘එවේලේ එතැන පසු කර ගිය මම, ඔබේ ලේ ගොඩේ ඔබ දඟලමින් සිටිනු දැක, ඔබේ ලේ ගොඩේ වැතිර සිටි ඔබ අමතා, “ජීවත් වන්නැ” යි කීවෙමි. ඔබ, ඔබේ ලේ ගොඩේ වැතිර සිටියදී මම ඔබ අමතා, “ජීවත් වන්නැ” යි කීවෙමි. 7මම, වත්තේ පැළයක් මෙන් ඔබ වැඩෙන්නට සැලැස්වීමි. ඔබ හැදී-වැඩී පිරිපුන් ස්ත්‍රියක බවට පත් විණ. ඔබේ පියයුරු නිමැවුණි. ඔබේ කෙස් වැටිය වැඩිණි. එසේ වුව ද ඔබ සිටියේ නිරුවතිනි. හෙළුවෙනි.
8“ ‘යළි මා එතැන පසු කර යද්දී බැලූ කල, ප්‍රේම කිරීමේ නිසි වයසට ඔබ පැමිණ ඇති වග දිටිමි. එබැවින් මම මා හැඳිවත් කෙළවර ඔබ පිට අතුරා ඔබේ නිරුවත වැසීමි. මම ඔබට දිවුරා මගේ වචනය දෙමින්, ඔබ සමඟ ගිවිසුමකට එළැඹුනෙමි. මෙසේ ඔබ මට හිමි විණැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
9“ ‘මම වතුරින් ඔබ නාවා, ඔබේ ලේ සෝදා, ඔබට තෙල් ගැල්වූවෙමි. 10වැඩ දැමූ ඇඳුමක් මම ඔබට අඳවා, ඔබට හම් පාවහන් දැමුවෙමි. මම ඔබට දුහුල් හණ පිළි අඳවා, අගනා ඇඳුමින් ඔබ වැසුවෙමි. 11ආභරණවලින් මම ඔබ සැරසුවෙමි. මම ඔබේ අත්වලට වළලු ද ඔබේ ගෙලට මාලයක් ද දැමුවෙමි. 12මම ඔබේ නාසයට නාසාභරණයක් ද ඔබේ කන්වල කුණ්ඩලාභරණ ද ඔබේ හිසෙහි අලංකාර ඔටුන්නක් ද දැමුවෙමි. 13මෙසේ ඔබ රනින් හා රිදීයෙන් සරසවන ලද්දී ය. ඔබගේ ඇඳුම් දුහුල් හණ පිළියෙන් ද අගනා රෙද්දෙන් ද වැඩ දැමූ සළුවලින් ද යුතු විණ. ඔබේ ආහාර සකස් වූයේ සිහින් පිටි, මී පැණි හා ඔලීව තෙලිනි. ඔබ රූ සිරියෙන් අගපත් ව රැජිනක් දක්වා උසස් වූවා ය. 14ඔබේ රූ සිරිය නිසා ඔබේ කීර්තිය ජාතීන් අතර පැතිර ගියේ ය. මන්ද මවිසින් ඔබට පිරිනමා තිබූ ශෝභාවෙන් ඔබේ රූ සිරිය අංග සම්පූර්ණ විණැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
15“ ‘එහෙත්, ඔබේ රූ සිරියෙහි විශ්වාසය තැබූ ඔබ, ඔබේ කීර්තිය වෙසඟනක වීමට යොදා ගනිමින්, ඔබ අසලින් යන එන කවරකුට වුව, මුළු කැමැත්තෙන් ම ඉඩ දීමෙන්, ඒ රූ සිරිය ඔහුගේ භුක්තියට ගියේ ය. 16ඔබගේ ඇඳුම් යොදා ගනිමින්, කඳු උඩ නා නා වර්ණ දේවාල මඩු හදා ගත් ඔබ, ඒ මත පරදාර සේවනයේ යෙදුණා ය. එවැන්නක්#16:16 මෙම හෙබ්‍රෙව් වාක්‍යයේ අරුත පැහැදිලි නැත. පෙර සිදු වුණේවත්, මතු සිදු වන්නේවත් නැත. 17මා ඔබට දී තිබූ, මගේ රනින් හා මගේ රිදීයෙන් සෑදූ අනර්ඝ ආභරණ ගෙන, ඒවායින් නුඹට පිරිමි පිළි රූ සාදා ගෙන, නුඹ ඒවා සමඟ ද වේශ්‍යාකම් කළා ය. 18ඔබ, වැඩ දැමූ ඔබේ සළු ගෙන, ඒවාට අන්දවා, මගේ තෙල් හා සුගන්ධ ධූම ඒවා ඉදිරිපිට පූජා කළා ය. 19තවද, ඔබේ අනුභවයට මා ඔබට දුන් සිහින් පිටි, ඔලීව තෙල් හා මී පැණි යන මා ඔබට සපයා දුන් ආහාර, සුගන්ධ ධූම පූජා කොට, ඔවුන්ට ඔප්පු කළා ය. සිද්ධ වූ දෑ ඒවා යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
20“ ‘නුඹ මට බිහි කර දුන් නුඹේ පුතුන් හා දූවරුන් ඒ පිළිරූවලට ආහාර පිණිස යාග කළේ, නුඹේ ඒ වේශ්‍යාකම් මදිවාට ද? 21නුඹ මගේ දරුවන් මරා, පිළිරූවලට ඔවුන් යාග කළා ය. 22නුඹේ මේ සියලු පිළිකුල් ක්‍රියාවලියේදී හා නුඹේ වේශ්‍යාකම්වලදී නුඹ සිහි නො කළ දෙයක් ඇත. එනම් නුඹේ ලේ මත දඟලමින් නුඹ නිරුවතින්-හෙළුවෙන් සිටි නුඹේ යොවුන් අවදියයි.
23“ ‘දුක්-විපත් වේ! නුඹට දුක්-විපත් වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. නුඹේ සෙසු සියලු දුෂ්ටකම්වලට අමතරව 24නුඹ, නුඹ උදෙසා ගොඩැලි ගොඩ නගා, සෑම පොදු මංසලක ම දේවාල මඩු සාදා, 25හැම වීදියක් ඉද්දර ම දේවාල තනා ගෙන, එතැනින් යන එන හැම මිනිසාට ම වග-විභාගයක් නැතිව නුඹේ සිරුර පිදීමෙන්, නුඹ නුඹේ රූ සිරිය පිළිකුලක් කර ගත්තා ය. 26නුඹේ රාගික අසල්වාසීන් වන ඊජිප්තුවරුන් සමඟ කම්සැපෙහි පැටලුණ නුඹ, නුඹේ නිමක් නැති වේශ්‍යාකම් මගින් මා ප්‍රකෝප කරවී ය. 27එබැවින් මම නුඹට එරෙහිව මගේ හස්තය දිගු කොට, නුඹේ බිම් කොටස අඩු කළෙමි. නුඹේ සල්ලාල හැසිරීම ගැන ලජ්ජාවට පත් පිලිස්තිවරුන්ගේ දූවරුන් අතට, එනම් නුඹේ සතුරන්ගේ ගිජුභාවයට මම නුඹ හසුකර දුන්නෙමි. 28නුඹේ නො සෑහීම හේතුවෙන් නුඹ අසිරියානුන් සමඟ ද වේශ්‍යාකමෙහි පැටලුණා ය. මන්ද ඉන්පසුව වුව ද නුඹ තෘප්තියට පත් වූයේ නැත. 29ඉන්පසු, නුඹ වෙළඳුන්ගේ දේශය වන බබිලෝනිය සමඟ ද නිමක් නැති එම දූෂණයෙහි ගැලුන ද එයින් පවා සෑහීමකට පත් වූයේ නැත.
30“ ‘විලි ලජ්ජා නැති වෙසඟනක සේ ක්‍රියා කරමින්, නුඹ මේ සියලු දෑ කළත්, නුඹ මොන තරම් දුර්වල සිතැත්තියක් දැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 31සෑම වීදියක් ඉද්දර ගොඩැලි ගොඩ නගා, සෑම පොදු මංසලක ම නුඹේ දේවාල තනා ගත්තා වුව, ගාස්තුව හෙළා දැකීම නිසා, නුඹ වේශ්යාවියකට සමාන නො වේ.
32“ ‘එම්බා පරදාරික අඹුව, නුඹ නුඹගේ සැමියා වෙනුවට අමුත්තන් ප්‍රිය කරන්නී ය! 33සෑම වෙසඟනක ම ගාස්තුවක් ලබයි. එහෙත් නුඹ, නුඹේ අනියම් පහස පුදන්නට සෑම දිසාවකින් ම නුඹේ සියලු ආලවතුන් ගෙන්වා ගත්තේ ඔවුන්ට තෑගි දී, පොලඹවා ගැනීමෙනි. 34එබැවින් නුඹේ වේශ්යාකමේදී නුඹ වෙනත් එකියකට වඩා වෙනස් ය. නුඹේ පහස පතා කිසිවකුත් නුඹ වෙත එන්නේ නැත. සැබවින් ම නුඹ වෙනස් ය. මන්ද නුඹ ගාස්තුවක් ගෙවයි. කිසිවකුත් නුඹට ගෙවන්නේ නැත.
35“ ‘එබැවින් වෙසඟන, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු! 36පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹ, නුඹේ රාගය වැගිරූ නිසාත්, නුඹේ ආලවතුන් සමඟ යළි යළිත් ලිංගික සංතර්පයේදී නුඹේ නිරුවත විදහා පෑ නිසාත්, පිළිකුල් සහගත නුඹේ සියලු දේව රූප නිසාත්, ඒවාට නුඹ, නුඹේ දරුවන්ගේ ලේ දුන් නිසාත්, 37මෙන්න! නුඹ වසඟ වූ නුඹේ ආලවතුන් සියලු දෙනා, නුඹ ප්‍රේම කළවුන් සේ ම නුඹ වෛරකළවුන් සියලු දෙනා, එක් රැස් කරන්නෙමි. මම සෑම දිසාවකින් ම නුඹට එරෙහිව ඔවුන් රැස් කරවා, ඔවුන් නුඹගේ මුළු නග්න භාවය දකින පිණිස, මම ඔවුන් ඉදිරිපිට නුඹ නිරුවත් කරන්නෙමි. 38පර පුරුෂ සේවනයේ ගැලෙන, ලේ වගුරු වන ස්ත්රීන්ට දඬුවම් නියම කරන්නා සේ මම නුඹ විනිශ්චය කරමි. ලේ පළිය ගැනීමේ මගේ උදහසත්, ඊර්ෂ්‍යා සහගත කෝපයත් මම නුඹ පිටට ගෙනෙන්නෙමි. 39ඉන්පසු මම නුඹේ ආදරවතුන්ට නුඹ බාර දෙන්නෙමි. ඔවුන් නුඹගේ ගොඩැලි කඩා, නුඹේ උස් දේවාල වනසා, නුඹේ හැඳිවත් ගලවා, නුඹේ අගනා ආභරණ ද ගෙන, නුඹ හැර දමා යනු ඇත්තේ නුඹ නිරුවතින් ද හෙළුවෙන් ද තබමිනි. 40ඔවුන් ඔබට එරෙහිව මැර පිරිසක් කැඳවනු ඇත. ඔවුන් ඔබට ගල් ගසා, ඔවුන්ගේ කඩුවලින් නුඹ පෙතිගසනු ඇත. 41ඔවුන් නුඹේ ගෙවල් ගිනි ලා, බොහෝ කාන්තාවන්ගේ ඇස් හමුවේ නුඹට දඬුවම් කරනු ඇත. නුඹේ වේශ්‍යාකම් මම නතර කරන්නෙමි. නුඹත්, මින් පසුව නුඹේ ආදරවතුන්ට ගාස්තු නො ගෙවනු ඇත. 42එවිට නුඹට එරෙහි මගේ උදහස සමනය වී, මගේ ඊර්ෂ්‍යා සහගත කෝපය නුඹ වෙතින් ඉවත හැරෙනු ඇත. මම සන්සුන් වන්නෙමි. තවදුරටත් කෝප නො වන්නෙමි.
43“ ‘නුඹ, නුඹේ යෞවනයේ දවස් සිහි නො කොට මේ සියලු දෙයින් මා ප්‍රකෝප කළ බැවින්, නුඹ කළ දේවල් නුඹේ හිස පිට මම පතිත කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. නුඹගේ අනෙක් සියලු පිළිකුල් ක්‍රියා මාර්ග අතරට මෙම දූෂ්යතාවත් නුඹ එක් කර නො ගත්තේ ද?
44“ ‘ප්‍රස්තාව පිරුළු උපුටා දක්වන සැවොම නුඹ ගැන, “මව යම් සේ ද දුවත් එසේ ම ය” යන ප්‍රස්තාව පිරුළ උපුටා දක්වනු ඇත. 45නුඹ නුඹේ මවගේ ම දියණියයි. ඈ තම සැමියාත්, තම දරුවනුත් පිළිකුල් කළා ය. නුඹ නුඹේ සහෝදරියන්ගේ ම සහෝදරියයි. ඔවුහු තම සැමියන් හා තම දරුවන් පිළිකුල් කළෝ ය. නුඹේ මව හිත්තීය ස්ත්‍රියකි. නුඹේ පියා අමෝරි ජාතිකයෙකි. 46තම දූවරුන් සමඟ ඔබට උතුරින් වෙසෙන සමාරිය, ඔබගේ වැඩුමල් සහෝදරියයි. තම දූවරුන් සමඟ ඔබට දකුණින් වෙසෙන සොදොම, ඔබගේ බාල සහෝදරියයි. 47නුඹ ඔවුන්ගේ මාර්ගවල ගමන් කළා පමණක් නො වේ. ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා මාර්ග අනුකරණ කළා පමණක් ද නො වේ. ඉතා ඉක්මනින් නුඹ නුඹේ සියලු ක්‍රියා මාර්ග ඔවුන්ට ද වඩා දූෂ්‍ය කර ගත්තා ය. 48මා ජීවත් වන වග සැබෑ සේ ම, නුඹ හා නුඹේ දූවරුන් කළ දෑ තරම් සොදොම හා ඇගේ දූවරුන් කිසි කලෙකත් කළේ නැතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
49“ ‘නුඹේ සහෝදරිය වන සොදොමේ අපරාධය වූයේ මෙයයි. ඈ ද ඇගේ දූවරු ද පුහු මානයෙන් යුතු ව කෑම බීමෙන් ඉසුරුමත් ව, සුඛෝපභෝගී ව පසු වූවාහු, දුගී-දුප්පතුන්ට පිළිසරණ නො වූහ. 50ඔවුහු අහංකාරී ව, මා ඉදිරිපිට පිළිකුල්කම් කළෝ ය. එබැවින් ඔබ දුටු පරිද්දෙන් මම ඔවුන් පහ කර දැමුවෙමි. 51නුඹ කළ පව්වලින් අඩක් තරම් වත් සමාරිය කර නැත. නුඹ ඔවුන්ට වඩා කොපමණ වැඩියෙන් පිළිකුල්කම් කර ඇත්තේ ද යත්, නුඹ කළ සියලු පිළිකුල්කම් හමුවේ නුඹේ එම සහෝදරියන් දමිටුන් ලෙස පෙනී යයි. 52එබැවින් නුඹ, නුඹේ ලජ්ජාව විඳිය යුතු ය. මන්ද නුඹ, නුඹේ සහෝදරියන්ගේ විනිශ්චය ලිහිල් කිරීමට හේතු සපයා ඇත. එසේ වන්නේ නුඹේ පාප ඔවුන්ගේ පාපවලට වඩා නීච වූ නිසා, ඔවුන් වඩා දමිටුන් සේ පෙනෙන්නට වන බැවිනි. නුඹේ සහෝදරියන් දමිටුන් සේ පෙනෙන්නට නුඹ මං සැලසූ බැවින් නුඹේ නින්දාවේ ලජ්ජාව විඳ දරා ගන්න.
53“ ‘එසේ වුවත් මම, සොදොම හා ඇගේ දූවරුන්ගේත්, සමාරිය හා ඇගේ දූවරුන්ගේත් භාග්‍යය ද ඒ හා සමඟ ම ඔබේ භාග්‍යය ද යළි ස්ථාපිත කරමි. 54එසේ කරන්නේ ඔවුන්ට සහනයක් ගෙන දෙමින්, නුඹ නුඹේ නින්දාව දරාගන්නා පිණිස ය. නුඹ කළ සියලු දේ ගැන ලජ්ජා වනු පිණිස ය. 55සොදොම හා ඇගේ දූවරුන් ද සමාරිය හා ඇගේ දූවරුන් ද යන වශයෙන් නුඹේ සහෝදරියන් ඔවුන්ගේ පළමු තත්වයට යළි පැමිණෙනු ඇත. ඔබ හා ඔබේ දූවරුන් ද ඔබගේ පළමු තත්වයට යළි පැමිණේ. 56නුඹේ අහංකාරයේ දවසේ නුඹේ සහෝදරිය වන සොදොමේ නම නුඹේ මුවඟින් පිටවූයේ පවා නැත. 57ඒ, නුඹේ දුෂ්ටකම අනාවරණවීමට කලිනි. එපරිදි ම අරාම්හි#16:57 අරාම්හි ඇතැම් අත් පිටපත්වල ඒදොම් දූවරුන්ගේ හා ඇගේ සියලු අසල්වාසීන්ගේ ද පිලිස්ති දූවරුන්ගේ ද යන නුඹ වටා සිටින, නුඹට ගර්හා කළ සියල්ලන්ගේ සමච්චලයට දැන් නුඹ ලක් වී සිටී. 58නුඹේ සල්ලාලකමේ හා නුඹේ පිළිකුල් ක්‍රියා පිළිවෙත්වල විපාකය, නුඹ විඳ දරා ගනු ඇතැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
59“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: නුඹට යුතු පරිද්දෙන් මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි. මන්ද නුඹ ගිවිසුම කඩ කරමින්, මගේ දිවුරුම ගර්හාවට ලක් කළේ ය. 60එසේ වුවත්, යෞවන දවස්හි දී නුඹ සමඟ මා කළ ගිවිසුම මම සිහි කරන්නෙමි. තවද නුඹ සමඟ මම සදාතනික ගිවිසුමක් පිහිටු වන්නෙමි. 61ඉන්පසු නුඹට වඩා වැඩිමහල් වූත්, නුඹට වඩා බාලවූත් නුඹේ සහෝදරියන් නුඹ පිළිගත් කල නුඹේ ක්‍රියා මාර්ග සිහිපත් කර නුඹ ලජ්ජා වනු ඇත. මම ඔවුන් නුඹේ දූවරුන් කොට නුඹට දෙන්නෙමි. එසේ කරන්නේ නුඹ සමඟ වන මගේ ගිවිසුම මත පිහිටා නො වේ. 62ඉන්පසු මම මගේ ගිවිසුම නුඹ සමඟ පිහිටු වන්නෙමි. ස්වාමින්වහන්සේ මා වග නුඹ දැනගන්නවා ඇත. 63තවද, නුඹ කර ඇති සියලු දෑට මා පාප වන්දි නිවාරණය සිදු කළ විට, ඔබ ඒ දෑ සිහි කොට, ලැජ්ජා වී, ඒ ලැජ්ජාව නිසා යළි කට නෑර නිශ්ශබ්ද ව සිටිනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 16: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.