එසකියෙල් 14:1-8
එසකියෙල් 14:1-8 SCV
ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින් ඇතැම් දෙනෙක් මා වෙත අවුත්, මා ඉදිරිපිට හිඳ ගත්හ. එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “මනුෂ්‍ය පුත්‍රය, මේ මිනිස්සු තමන්ගේ හදවත්වල තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගත්හ. මගෙන් විචාරන්නට මා ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? එබැවින් ඔවුන්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල් වංශික යම් මිනිසෙක් තම හදෙහි තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ පිළිම රාශියේ හැටියට ස්වාමින්වහන්සේ වන මම ඔහුට පිළිතුරු දෙන්නෙමි. එසේ කරන්නේ, තම දේව පිළිම සියල්ල නිසා, මා අත්හැර ගිය ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් යළි හරවා ගන්නා පිණිස ය.’ “එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න; ඔබේ දේව පිළිම වෙතින් ඉවත හැරෙන්න. ඔබේ පිළිකුල් සහගත ක්‍රියා මාර්ග සියල්ල අත්හරින්න. “ ‘යම් ඉශ්‍රායෙල් වංශිකයකු හෝ ඉශ්‍රායෙල්හි වාසය කරන විදේශිකයකු මගෙන් වෙන් ව තම හදෙහි දේව පිළිම පිහිටුවා ගෙන, තම මුහුණ ඉදිරිපිට දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු මගෙන් විචාරන පිණිස දිවැසිවරයා වෙත යන කල, ස්වාමින්වහන්සේ වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. මම ඒ මිනිසාට එරෙහිව මගේ මුහුණ යොමා, ඒ මිනිසා උපහැරණයක් ද උපදේශයක් ද වන්නට සලසමි. මගේ ජනතාව වෙතින් මම ඔහු සිඳ දමන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත.

