එසකියෙල් 13:17-23

එසකියෙල් 13:17-23 SCV

“දැන් මනුෂ්‍ය පුත්‍රය, තමන්ගේ ම සිතින් මවා ගත් දිවැසි වැකි පවසන, ඔබේ ම ජනතාවගේ දූවරුන්ට එරෙහිව ඔබගේ මුහුණ යොමු කරන්න. ඔවුනට එරෙහිව දිවැසි වැකි පවසමින්, මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජනතා ජීවිත දඩයම් කර ගන්නා පිණිස, තම අත්පුරා බැඳෙන වශී බන්ධන පට මහන, තමන්ගේ හිස්වලට නා නා තරාතිරම්වල වැසුම් වේල් පට සකස් කරන ස්ත්‍රීන්ට දුක් වේ. නුඹලා මගේ ජනයාගේ ජීවිත දඩයම් කරමින්, නුඹලාගේ ජීවිත ආරක්ෂා කර ගන්නවා ද? යව අහුරකට-දෙකකටත්, රොටි කැබලි කීපයකටත් නුඹලා, මගේ ජනයා අතරෙහි මා කෙලෙසා දැමූහ; මුසාව අසා සිටි මගේ ජනයාට නුඹලාගේ මුසා පැවසීමෙන් නුඹලා මිය යා යුතු නැති අය මරා දැමූහ. ජීවත් විය යුතු නැති අය ඉතිරි කළහ. “ ‘එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: කුරුල්ලන් සේ මිනිසුන් දඩයම් කරන නුඹලාගේ වශී බන්ධන පටවලට මම එරෙහි වෙමි. නුඹලාගේ බාහුවෙන් ඒවා ඉරා, කුරුල්ලන් සේ නුඹලා දඩයම් කර ගත් ජනයා, මම නිදහස් කර හරින්නෙමි. මම නුඹලාගේ වේල් පට ඉරා, නුඹලාගේ අතින් මගේ ජනයා මුදා ගන්නෙමි. ඔවුන් මින් මතු නුඹලාගේ බලය යටතට උගුලේ වැටෙන්නේ නැත. එවිට, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත. මවිසින් ඔවුනට ශෝකය නො පමුණුවා තිබියදී නුඹලාගේ මුසා මගින් නුඹලා ධාර්මිකයින් අධෛර්යට පත් කළ බැවින් හා තම ජීවිත ගලවා ගන්නා පිණිස දුෂ්ටයින්ට ඔවුන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත නොහැරෙන ලෙසට නුඹලා ඔවුන් දිරිමත් කළ බැවින් ද නුඹලා තවදුරටත් බොරු දර්ශන දකින්නේවත්, පේන කියන්නේවත් නැත. නුඹලාගේ අත්වලින් මම මගේ ජනයා මුදා ගන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත.’ ”