නික්මයාම 35:21-29

නික්මයාම 35:21-29 SCV

තවද, ස්ව-කැමැත්තෙන් දීමට හදෙහි පෙලඹවීමක් ඇති වූ සැවොම පැමිණ, හමුවීමේ කූඩාරමේ වැඩ සහ එහි සියලු සේවා සඳහාත්, ශුද්ධ වස්ත්‍ර සඳහාත් ස්වාමින්වහන්සේට පුද පඬුරු ගෙනාවෝ ය. ස්ව-කැමැත්තෙන් පෙලඹුණු පුරුෂ හා ස්ත්‍රී දෙපිලෙහි ම සියල්ලෝ පැමිණ, පුද පඬුරු වශයෙන් හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල යන හැම මාදිලියකම රන් අබරණ ගෙනාහ. ඔවුහු සියල්ලෝ තම තමන්ගේ රත්රන් ස්වාමින්වහන්සේට තේව කිරීමේ පූජාවක් වශයෙන් පිළිගැන් වූහ. නිල්, දම් හා තද රත් පැහැ නූල් හෝ දුහුල් හණ පිළි, එළු ලොම්, රතු සායම් පෙවූ බැටළු හම්, තහෂ් හම් යන දෑ තිබූ සියල්ලෝ ඒ දෑ ගෙන ආහ. රිදී හෝ ලෝකඩ හෝ පිළිගැන්විය හැකි වූ හැම කෙනෙක් ම ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ඒවා ගෙන ආහ. අදාළ කාරියේ යම් වැඩකට යෝග්‍ය අකේෂියා ලී තිබූ හැම කෙනෙක් ම ඒවා ගෙන ආහ. නූල් කැටීමෙහි සමත් හැම කාන්තාවක් ම තම තමන්ගේ දෝතින් කටින ලද නිල්, දම් හා තද රත් පැහැ නූල් හෝ දුහුල් හණ පිළි ගෙන ආවාහ. ස්ව-කැමැත්තෙන් පෙලඹුණු සියලු දක්ෂ කාන්තාවෝ එළු ලොම් කටින්නට වූවෝ ය. නායකයෝ ඒපොද් සැට්ටයේ හා ළය වැස්මේ එබ්බවීම පිණිස ගෝමේද හා සෙසු මැණික් ගෙන ආවෝ ය. තවද ඔවුහු පහන් සඳහා ද ආලේප තෙල් හා සුගන්ධ ධූම සඳහා ද තෙල් හා සුගන්ධ ද්‍රව්‍යය ගෙනාහ. ස්ව-කැමැත්තෙන් පෙලඹුණු පුරුෂ හා ස්ත්‍රී සියලු ඉශ්‍රායෙල්වරු, ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් ඔවුනට කරන්නට අණ කළ සියලු වැඩ සඳහා ස්වාමින්වහන්සේට ස්වේච්ඡා පූජා ගෙන ආහ.