නික්මයාම 33:7-11
නික්මයාම 33:7-11 SCV
මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය. මෝසෙස් කූඩාරම වෙත පිටත් ව ගිය අවස්ථාවන්හි, ජනයා සැවොම නැගිට, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිටගෙන, මෝසෙස් කූඩාරමට ඇතුළු වන තෙක් බලා සිටියහ. මෝසෙස් කූඩාරම තුළට වන් කල, වලා ටැඹ පහත බැස අවුත්, කූඩාරම් දොරකඩ පිහිටා සිටියේ ය. එකල ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. වලා ටැඹ කූඩාරම් දොරකඩ පිහිටා සිටිනු දකින කල, ජනයා සියල්ලෝ තම තමන්ගේ කූඩාරම් දොරකඩ නැගිට, නමස්කාර කළෝ ය. මිනිසකු තම මිතුරා සමඟ සාමීචියේ යෙදෙන්නා සේ, ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු මෝසෙස් කඳවුරට පෙරළා පැමිණියේ ය. එහෙත් නූන්ගේ පුත්, ඔහුගේ සහායක තරුණ යෝෂුවා කූඩාරම හැර නො ගියේ ය.

