නික්මයාම 32:1-20
නික්මයාම 32:1-20 SCV
මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බැව් දුටු ජනයා, ආරොන් වටා එක් රැස් වී, ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුවෙන් යන්නට අපට දෙවිවරුන් හදා දෙන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ මේ මිනිසා මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ” යි කීහ. ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද ඔබේ පුතුන්ගේ ද ඔබේ දියණියන්ගේ ද කන්වල ඇති රන් කුණ්ඩලාභරණ ගලවා, මා වෙත ගෙනෙන්නැ” යි කීවේ ය. එබැවින් මුළු ජනතාව තමන්ගේ රන් කුණ්ඩලාභරණ ගලවා, ආරොන් වෙත ගෙන ආහ. ඔහු ඔවුන් අතින් ඒවා ගෙන, උණු කර, අච්චුවක ලා, උපකරණයකින් හැඩකොට, ගොන් පැටවකුගේ පිළිරුවක් වාත්තු කළේ ය. එවිට ඔවුහු, “එම්බා ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්නැ” යි කීහ. ආරොන් එය දුටු කල, ඒ පිළිරුව ඉදිරිපිට පූජාසනයක් ඉදිකර, “හෙට ස්වාමින්වහන්සේට මංගල්‍යයකි” යි නිවේදන කළේ ය. එබැවින් ජනයා පසු දා උදෑසනින් නැගිට, දවන යාග පූජා කොට, ශාන්ති පූජා පිළිගැන් වූහ. පසුව ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පහළට බැස යන්න. අන්න! ඔබ, ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔබගේ ජනයා තුමූම දූෂ්‍ය කර ගෙන! මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් මෙතරම් ඉක්මනින් ඔවුන් හැරී ගොසින්; ඔවුහු ගොන් පැටවකුගේ හැඩයට තමන්ට පිළිමයක් වාත්තු කොට, ඊට නමස්කාර කරමින්, ඊට යාග ඔප්පු කරමින්, ‘එම්බා ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්න’ කියා කියති” යි කී සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මා මේ ජනයා දුටුවා. ඔවුන් තද මුරණ්ඩු ජනතාවක්. ඔවුන්ට විරුද්ධ ව මගේ කෝපය ඇවිළී, මවිසින් ඔවුන් විනාශ කර දමන්නට මට ඉඩ දෙන්න. පසුව මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ආයාචනා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මහා බලයකින් හා බලගතු හස්තයකින් ඔබ ම ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ඔබගේ ම ජනයාට එරෙහිව ඔබගේ කෝපය ඇවිළෙන්නේ ඇයි? ඊජිප්තුවරුන් කතා කරමින්, ‘උන්වහන්සේ ඔවුන් පිටතට ගෙන ගොස් ඇත්තේ, කඳුකරයේදී ඔවුන් මරා දමා, පොළෝ තලයෙන් ඔවුන් අතු ගා දමන නපුරු චේතනාවකිනි’ යි කියන්නට ඉඩ සලසන්නේ ඇයි? ඇවිළෙන ඔබේ කෝපය නිවාගත මැනව. සිත වෙනස් කර ගත මැනවි. ඔබේ ජනතාව පිටට මේ විපත්තිය නො පැමිණෙවුව මැනව. ඔබගේ සේවකයින් වූ ආබ්‍රහම් ද ඊසාක් ද ඉශ්‍රායෙල් ද සිහි කළ මැනව. ඔබ ඔවුන්ට ඔබගේ ම නාමයෙන් දිවුරුමින්, ‘ඔබගෙන් පැවත එන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලසමි. මා පොරොන්දු වූ මේ මුළු දේශය, ඔබෙන් පැවත එන්නන්ට දෙන්නෙමි. සදහට ම එය ඔවුන්ට උරුම වනු ඇතැයි’ පැවසූ සේක් නො වේ දැ?” යි කන්නලව් කළේ ය. එවිට ස්වාමින්වහන්සේ තම සිත වෙනස් කර, ස්වකීය ජනතාවට කරන්නේ ය කියූ විපත්තිය නො පැමිණෙවු සේක. ඉන්පසු මෝසෙස් ආපසු හැරී, කන්දෙන් බසින්නට වන්නේ ය. ගිවිසුමේ ගල් පුවරු දෙක ඔහුගේ අත්වල තිබිණ. ඒවායේ දෙපැත්තේ, ඉදිරිපස සහ පසු පස ලියා තිබිණ. එම ගල් පුවරු දෙවියන්වහන්සේගේ නිමැවුම ය. එම පුවරුවල කැටයම් ලියවිල්ල දෙවියන්වහන්සේගේ ලියවිල්ල ය. ජනයාගේ ඝෝෂාවේ හඬ, යෝෂුවාගේ සවන් වැකුණු කල, ඔහු මෝසෙස් අමතමින්, “කඳවුරෙහි රණ හඬක් ඇසේ” යි කීවේ ය. මෝසෙස් පිළිතුරු දෙමින්, “එය ජය ඝෝෂාවක් නො වේ. පරාජයේ හැඬීම් හඬක් ද නො වේ. මට ඇසෙන ඒ හඬ ගීත ගායනයකි” යි කීවේ ය. මෝසෙස් කඳවුරට ළඟා වෙත් ම, ගොන් පැටවා ද නැටුම ද දුටුවේ ය. එවිට ඔහු කෝපයෙන් ඇවුළුණේ ය, ඔහු තම දෑතේ වූ ගල් පුවරු වීසි කරමින්, ඒවා කඳු පාමුල කැබලිවලට බිඳ දැමී ය. ඉන්පසු ඔහු, ඔවුන් සාදා තිබූ වස්සා ගෙන, ගින්නෙහි ලා පිලිස්සී ය. පසුව එය සිහින් කුඩු වන තුරු කුඩු කළ ඔහු, ඒවා ජලය පිට ඉස, ඉශ්‍රායෙල්වරුනට බොන්නට සැලසී ය.

