නික්මයාම 25:31-40
නික්මයාම 25:31-40 SCV
“අමිශ්‍ර රනින් පහන් රුකක් සාදන්න. පහන් රුකේ අඩිය හා කඳ, තැලූ රනින් විය යුතු ය. මල් වැනි එහි කොපු ද පොහොට්ටු හා මල් ද ඇතුළු මුළු පහන් රුක තනි නිර්මාණයක් විය යුතු ය. එක පැත්තක අතු තුනක් ද අනෙක් පැත්තේ අතු තුනක් ද යන වශයෙන් පහන් රුක දෙපසින් අතු හයක් විහිද ගිය යුතු ය. මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු, එක් අත්තක තුනක් ද අනෙක් අත්තේ තුනක් ද යන වශයෙන් පහන් රුකෙන් විහිද යන අතු හයේ ම විය යුතු ය. පහන් රුකේ කඳෙහි ද මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු හතරක් තිබිය යුතු ය. එක් පොහොට්ටුවක්, පහන් රුකෙන් දෙපසට විහිද යන පළමු අතු යුගල යටින් ද තව පොහොට්ටුවක් දෙවන අතු යුගල යටින් ද අනෙක් පොහොට්ටුව තෙවන අතු යුගල යටින් ද යන වශයෙන් අතු හයට ම අදාළ ව තිබිය යුතු ය. එම පොහොට්ටු හා අතු හා පහන් රුක, තැලූ අමිශ්‍ර රනින් කළ තනි නිර්මාණයක් විය යුතු ය. “ඉන්පසු එහි පහන් සත සාදා, එහි ඉදිරිපසට එළිය ලැබෙන පිණිස, ඒවා පහන් රුක මත තබන්න. පහන් තිර කපන කතුරු හා ඒවායේ තැටි ද අමිශ්‍ර රනින් විය යුතු ය. පහන් රුක හා ඊට අනුබද්ධ සියලු උපාංග සඳහා තලෙන්තයක බර අමිශ්‍ර රත්රන් උපයෝගී කර ගත යුතු ය. කන්දේදී ඔබට පෙන් වූ සැලැස්මට අනුව ඒවා සාදන්නට වග බලා ගන්න.

