නික්මයාම 24:3-11
නික්මයාම 24:3-11 SCV
එවිට මෝසෙස් අවුත්, ස්වාමින්වහන්සේගේ සියලු වචන හා නියෝග ජනතාවට පැවසී ය. ඔවුහු සියල්ලෝ එක හඬින් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ වචනයෙන් කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු” යි කීහ. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේගේ සියලු වචන ලියා තැබී ය. ඔහු අරුණ උදෙන් පිබිද, කන්ද පාමුල පූජාසනයක් තනා, ඉශ්‍රායෙල් දොළොස් ගෝත්‍ර වංශ සඳහා ගල් ස්තම්භ දොළහක් සිටුවී ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් තරුණයින් කිහිප දෙනකු යැවී ය. ඔවුහු දවන යාග පූජා ඔප්පු කොට, ස්වාමින්වහන්සේට ශාන්ති පූජා වශයෙන් ගවයින් ඔප්පු කළහ. මෝසෙස් ලෙයින් හරි අඩක් ගෙන, පාත්‍රවල දැමී ය. ඔහු ඉතිරි අඩ, පූජාසනය මත ඉසී ය. ඉන්පසු ඔහු ගිවිසුම් පොත ගෙන, ජනයා අසා සිටියදී එය කියවී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු; අපි කීකරු වන්නෙමු” යි කීහ. එවිට මෝසෙස් ඒ ලේ ගෙන, ජනතාව පිට ඉසිමින්, “ඒ සියලු වචනවලට අනුකූලව ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුමේ ලේ මේ යැ” යි කීවේ ය. ඉන්පසු මෝසෙස් හා ආරොන් ද නාදාබ් හා අබීහූ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැත්තෑදෙනා ද කන්දට නැගුණෝ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝ ය. උන්වහන්සේගේ පාද යට අහස සේ ම පැහැදිලි නිල් මැණිකකින් සැදි පාදිකාවක් වැන්නක් විය. එහෙත් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාගේ මෙම වැඩිහිටියනට එරෙහිව ස්වකීය හස්තය එසවූයේ නැත. ඔවුහු දෙවියන්වහන්සේ දුටුවෝ ය; කෑවෝ ය; බීවෝ ය.

