නික්මයාම 24:3-11

නික්මයාම 24:3-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට මෝසෙස් අවුත්, ස්වාමින්වහන්සේගේ සියලු වචන හා නියෝග ජනතාවට පැවසී ය. ඔවුහු සියල්ලෝ එක හඬින් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ වචනයෙන් කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු” යි කීහ. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේගේ සියලු වචන ලියා තැබී ය. ඔහු අරුණ උදෙන් පිබිද, කන්ද පාමුල පූජාසනයක් තනා, ඉශ්‍රායෙල් දොළොස් ගෝත්‍ර වංශ සඳහා ගල් ස්තම්භ දොළහක් සිටුවී ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් තරුණයින් කිහිප දෙනකු යැවී ය. ඔවුහු දවන යාග පූජා ඔප්පු කොට, ස්වාමින්වහන්සේට ශාන්ති පූජා වශයෙන් ගවයින් ඔප්පු කළහ. මෝසෙස් ලෙයින් හරි අඩක් ගෙන, පාත්‍රවල දැමී ය. ඔහු ඉතිරි අඩ, පූජාසනය මත ඉසී ය. ඉන්පසු ඔහු ගිවිසුම් පොත ගෙන, ජනයා අසා සිටියදී එය කියවී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු; අපි කීකරු වන්නෙමු” යි කීහ. එවිට මෝසෙස් ඒ ලේ ගෙන, ජනතාව පිට ඉසිමින්, “ඒ සියලු වචනවලට අනුකූලව ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුමේ ලේ මේ යැ” යි කීවේ ය. ඉන්පසු මෝසෙස් හා ආරොන් ද නාදාබ් හා අබීහූ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැත්තෑදෙනා ද කන්දට නැගුණෝ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝ ය. උන්වහන්සේගේ පාද යට අහස සේ ම පැහැදිලි නිල් මැණිකකින් සැදි පාදිකාවක් වැන්නක් විය. එහෙත් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාගේ මෙම වැඩිහිටියනට එරෙහිව ස්වකීය හස්තය එසවූයේ නැත. ඔවුහු දෙවියන්වහන්සේ දුටුවෝ ය; කෑවෝ ය; බීවෝ ය.

නික්මයාම 24:3-11 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය. මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය. මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය. තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය. එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනඟට ඉසිමින්: මේ සියලු වචන ගැන ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ ගිවිසුමේ ලේ මේ යයි කීවේය. එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය. උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.

නික්මයාම 24:3-11 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ. මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය. මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.

නික්මයාම 24:3-11 Sinhala New Revised Version 2018 (SNRV)