නික්මයාම 23

23
යුක්තිය හා දයාව
1“බොරු ආරංචි පතළ නො කළ යුතු ය. නපුරු සාක්ෂියකට එකඟ වෙමින්, දුෂ්ට මිනිසකුට සහාය නො දිය යුතු ය.
2“නපුර කිරීමට බොහෝ දෙනාගේ පැත්ත නො ගන්න; යුක්තිය පෙරළීම පිණිස, නඩු විභාගයක සාක්ෂි දීමේදී ද ඔබ බොහෝ දෙනාගේ පැත්ත නො ගත යුතු ය. 3නඩු විභාගයකදී දුප්පතකුට ඔබ පක්ෂග්‍රාහී නො විය යුතු ය.
4“ඔබගේ එදිරිවාදියාගේ ගවයා හෝ බූරුවා හෝ මංමුළා ව යනු ඔබට හමු වුවහොත්, ඔබ ඌ ඔහු වෙත ගෙන ආ යුතු ම ය. 5ඔබට වෛර කරන්නකුගේ බූරුවා බඩු බරින් ඇද වැටී සිටිනු ඔබ දුටු කල, එය මග හැර නො යා, ඒ මිනිසාට ඒ අවස්ථාවේ උදවු දිය යුතු ම ය.
6“ඔබගේ දුගී ජනයාගේ නඩු හබවලදී ඔවුනට යුක්තිය ඉටු කිරීම පැහැර නො හරින්න. 7බොරු පැමිණිල්ලකට මැදිහත් නො වන්න; අහිංසකයකු හෝ දමිටුවකු මරන්නට හවුල් නො වන්න. මන්ද මා වරදකරුවා මුදා හරින්නේ නැත.
8“අල්ලස් නො ගන්න. මන්ද අල්ලස, පැහැදිලි දැක්ම අන්ධ කර, නිර්දෝෂී තැනැත්තාගේ යුක්තිය කණපිට පෙරළවයි.
9“විදේශිකයකුට පීඩා නො කරන්න. විදේශිකයකුගේ හැඟීම් මොනවාදැයි ඔබ හොඳින් දනී. මන්ද ඔබත් ඊජිප්තුවේ විදේශීන් ව සිටි බැවිනි.
සබත් රීති
10“හය අවුරුද්දක් ඔබේ බිම් වපුරා අස්වනු නෙළා ගන්න. 11එහෙත් හත් වන අවුරුද්දේ කෙත් වතු පුරන් ව තිබෙන්නට හැරිය යුතු ය. ප්‍රයෝජනයට නො ගත යුතු ය. ඔබේ ජනයා අතරේ දුගී අය එයින් අහර සපයා ගත්තා වේ. ඔවුන් ඉතිරි කරන දෑ වන සතුන්ගේ භුක්තියට ය. ඔබගේ මිදි වත්තට හා ඔබගේ ඔලීව උයනට අදාළ ව ද එසේ කරන්න.
12“හය දවසක් ඔබට ඔබේ වැඩ කර ගත හැකි ය. එහෙත් හත් වන දවසේ ඔබ විවේක ගත යුතු ය. එසේ කළ යුත්තේ, ඔබේ ගවයාට හා බූරුවාට විවේක ලැබෙන පිණිසත්, ඔබේ දාසියගේ පුතුට හා විදෙස්සාට වෙහෙස නිවා, යළි ප්‍රබෝධය ලැබෙන පිණිසත් ය.
13“මා ඔබට කී හැම දෙයක් ම කරන්නට වග බලා ගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නො කරනු; ඒවා ඔබේ තොල් අතරින් පිට වනු නො ඇසේවා.
වාර්ෂික මංගල්‍යයන් තුන
14“අවුරුද්දකට තුන් වරක් ඔබ මට මංගල්‍යයක් පැවැත් විය යුතු ය.
15“ඔබ මුහුන් නුමුසු රොටි මංගල්‍යය පැවැත් විය යුතු ය. මා ඔබට අණ කළ පරිදි දවස් හතක් මුහුන් රහිත රොටි අනුභව කළ යුතු ය. ආබීබ් මාසයේ ඊට නියමිත දවස්හි එය කරන්න. මන්ද ඔබ ඊජිප්තුවෙන් පිටතට ආවේ ඒ මාසයේ ය.
“කිසිවකු හෝ මා ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය.
16“ඔබේ කෙත් වත්හි ඔබ වැපුරූ දැයින් ඔබේ පලදාවේ ප්‍රථම පලවලින් අස්වනු මංගල්‍යය පවත්වන්න.
“වසර අවසානයේ ඔබේ කෙත් වතුවල ඔබේ පලදාව එක් රැස් කරන කල, පල එක් රැස් කිරීමේ මංගල්‍යය පවත්වන්න.
17“අවුරුද්දකට තුන් වරක් ඔබේ සියලු පිරිමින් පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය.
18“මගේ යාග පූජා ලේ සමඟ මුහුන් සහිත කිසිවක් මට ඔප්පු නො කළ යුතු ය.
“මගේ මංගල්‍ය පූජාවල මේදය උදය වන තුරු නො තබා ගත යුතු ය.
19“ඔබේ භූමියේ ප්‍රථම පලවල හොඳ ම දේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට රැගෙන ආ යුතු ය.
“එළු පැටවකු උගේ ම මවගේ කිරෙන් නො පිසින්න.
පොරොන්දු හා උපදෙස්
20“මෙන්න! මග දිගට ම ඔබ සුරකින පිණිසත්, මා සූදානම් කළ ස්ථානයට ඔබ කැඳවාගෙන එන පිණිසත්, ඔබට පෙරටුවෙන් දේව දූතයකු යවමි. 21ඔහු වෙත හොඳින් අවධානය යොමා, ඔහු කියන දේට සවන් දෙන්න. ඔහුට එරෙහිව මුරණ්ඩු නො වන්න. මන්ද, ඔබේ අපරාධවලට ඔහු කමා වන්නේ නැත. මන්ද මගේ නාමය ඔහු තුළ ඇති බැවිනි. 22ඔහු පවසන දෑට ඔබ ඕනෑකමින් සවන් දී, මා කියන සියල්ල කරන්නේ නම්, ඔබේ සතුරන්ට මම ද සතුරකු වන්නෙමි. ඔබට විරුද්ධ වන්නන්ට මම ද විරුද්ධවාදියකු වන්නෙමි. 23මගේ දූතයා ඔබට පෙරටුව යමින්, අමෝරිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද දේශයට ඔබ ගෙන එනු ඇත. මම ඔවුන් වනසා දමන්නෙමි. 24ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටීමවත්, ඔවුන්ට නමස්කාර කිරීමවත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය අනුගමන කිරීමවත් නො කළ යුතු ය. ඔබ ඒවා බිඳ හෙළා, ඔවුන්ගේ පිදුම් ගල් කුලුනු කැබලි කර දැමිය යුතු ය. 25ඔබ නමස්කාර කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. උන්වහන්සේ ඔබේ ආහාරයට හා ජලයට ආශිර්වාද කරන සේක. මම ඔබ අතරින් ලෙඩ රෝග දුරු කර දමන්නෙමි. 26ඔබේ දේශයේ කිසිවකුත් ගබ්සා වන්නේ නැත; වඳ බවට ද පත් නො වේ. මම ඔබට පූර්ණ ආයු කාලයක් ලබා දෙන්නෙමි.
27“මම ඔබට පෙරටුවෙන් මගේ භීතිය යවා, ඔබට මුණගැසෙන සියලු ජාතීන් වියවුලෙහි හෙළන්නෙමි. ඔබගේ සියලු සතුරන් ඔබට පිටුපා දුවන්නට සලසමි. 28ඔබ ඉදිරියෙන් හිවීවරුන් ද කානානිවරුන් ද හිත්තිවරුන් ද පන්නා දමන පිණිස, මම ඔබට පෙරටුව දෙබරුන් යවමි. 29එහෙත් එක් අවුරුද්දකින් මා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමන්නේ නැත. මන්ද එසේ කළහොත් දේශය පාළුවට ගොස්, වන සතුන් වැඩිවීමෙන් ඔබට ගැටලුවක් වනු ඇත. 30ඔබ ගණනින් වැඩි වී, දේශය අත්කර ගන්නා තෙක්, මම ටිකින් ටික ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමන්නෙමි.
31“මම, ඔබගේ දේශ සීමා, රතු මුහුදේ සිට පිලිස්තීය මුහුද#23:31 පිලිස්තීය මුහුද එනම් මධ්‍යධරණී මුහුද දක්වා ද කාන්තාරයේ සිට ගංගාව#23:31 ගංගාව එනම් යුප්‍රටීස් දක්වා ද ස්ථාපිත කරන්නෙමි. දේශයේ වෙසෙන ජනයා මම ඔබ අතට හසුකර දෙන්නෙමි. ඔබ ඉදිරිපිටින් ඔබ ඔවුන් පලවා හරිනු ඇත. 32ඔවුන් සමඟ හෝ ඔවුන්ගේ දෙවිවරුන් සමඟ හෝ ඔබ කිසිදු ගිවිසුමක් ඇතිකර නො ගත යුතු ය. 33ඔබගේ දේශයේ වාසයට ඔවුන්ට ඉඩ නො දිය යුතු ය. නැතහොත්, මට එරෙහිව පව් කරන්නට ඔවුන් ඔබ පොලඹවනු ඇත. මන්ද ඔවුන්ගේ දෙවිවරුනට ඔබ නමස්කාර කළහොත්, එය ඔබට නිසැක මලපතක් වනු ඇති බැවිනි.”

දැනට තෝරාගෙන ඇත:

නික්මයාම 23: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න