නික්මයාම 2:11-25

නික්මයාම 2:11-25 SCV

මෝසෙස් මේරූ වියට පැමිණි පසු, දිනක් තම සහෝදර ජනයා දකින්නට පිටතට ගොස්, ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ ය. මෙවිට තම සහෝදර හෙබ්‍රෙව්වකුට ඊජිප්තු ජාතිකයකු පහර දෙනු ඔහු දුටුවේ ය. ඒ මේ අත බැලූ ඔහු, කිසිවකු නැති වග දැක, ඊජිප්තු ජාතිකයා මරා, වැල්ලේ සැඟවී ය. පසු දින ඔහු පිටතට ගිය කල, හෙබ්‍රෙව්වන් දෙදෙනකු දබර කර ගනු දුටුවේ ය. එවිට වරද කරන මිනිසා ඇමතූ ඔහු, “තමන්ගේ ම මිනිසකුට පහර දෙන්නේ ඇයි දැ?” යි ඇසී ය. එවිට ඒ මිනිසා පිළිතුරු දෙමින්, “අපේ පාලකයා හා විනිශ්චයකාරයා ලෙස නුඹ පත් කළේ කවුරු ද? අර ඊජිප්තුවා මරා දැමූ සේ මාත් මරා දමන්න ද කල්පනාව?” යි කීවේ ය. එයින් මෝසෙස් භය විය. “මා කළ දේ එළිවෙලා!” යි ඔහු සිතී ය. පාරාවෝට මේ වග සැල වූ කල, මෝසෙස් මරා දැමීමට ඔහු වැර දැරී ය. එහෙත් මෝසෙස්, පාරාවෝ වෙතින් පලා ගොස්, වාසය පිණිස මිදියන් දේශයට අවුත්, එහි වූ ළිඳක් අසල හිඳ ගත්තේ ය. මිදියන් පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. දිය අදින්නට ආ ඔවුහු, තම පියාගේ එළු බැටළු රංචුවලට පොවන පිණිස, වතුර ඔරු පිරවූහ. එහෙත් එතැනට පැමිණි එඬේරුන් ඇතැම් දෙනෙක් ඔවුන් එලවා දැමූහ. එවිට මෝසෙස් නැගිට, ඔවුන්ගේ උපකාරයට පැමිණ, ඔවුන්ගේ සත්ව රංචුවට දිය පෙවී ය. ඔවුන් තම පියා වූ රෙවූයෙල් වෙත ආපසු ආ කල, ඔහු කතා කරමින්, “නුඹලා අද මෙතරම් ඉක්මනින් ආපසු ආවේ ඇයි දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඊජිප්තු ජාතිකයෙක් එඬේරුන් අතින් අප මුදා අපට වතුරත් ඇද දුන්නා; සත්ව රංචුවටත් පෙව්වා යැ” යි කීහ. “කෝ! ඔහු කොහේ දැ?” යි තම දූවරුන්ගෙන් විමසූ ඔහු, “ඇයි ඔහු එහි හැර දමා ආවේ? කෑම කන්නට ඔහුට අඬගසන්නැ” යි කීවේ ය. මෝසෙස් ඒ මිනිසා සමඟ නවතින්නට එකඟ විය. ඔහු තම දියණිය සිප්පොරා මෝසෙස්ට බිරිඳ කොට දුන්නේ ය. ඈ පුතකු බිහි කළා ය. “විදේශයකදී මම පිටස්තරයකු වීමි” යි පැවසූ මෝසෙස් ඒ පුතුට ගේර්ෂොම් යන නම තැබී ය. ඒ දිගු කාලය අතර තුර, ඊජිප්තු රජු මිය ගියේ ය. ඉශ්‍රායෙල්වරු තම වහල් භාවය ගැන සුසුම්ලමින්, මොර ගැසූහ. තම වහල් භාවය නිසා ඔවුන් නැගූ මොර ගැසීම, දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය. ඔවුන්ගේ කෙඳිරිගෑම දෙවියන්වහන්සේට ඇසිණ. එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ද ඊසාක් සමඟ ද යාකොබ් සමඟ ද වූ තම ගිවිසුම සිහි කළ සේක. මෙසේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින් දෙස බලා, ඔවුන් ගැන සැලකූ සේක.