නික්මයාම 15:1-19

නික්මයාම 15:1-19 SCV

ඉන්පසු මෝසෙස් හා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මේ ගීතය ගායනා කරමින් මෙසේ කීහ: “ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි. මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක. උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද මුහුදේ හෙළූ සේක. “ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි; මගේ ගීතයයි. උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. උන්වහන්සේ මගේ දෙවියන්වහන්සේ, ය. මම උන්වහන්සේ පසසන්නෙමි; උන්වහන්සේ මගේ පියාගේ දෙවියන්වහන්සේ, ය. මම ඉහළින් ම උන්වහන්සේ වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ රණ ශූරයෙක. ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමය ය. පාරාවෝගේ යුද්ධ රථ හා හමුදා, උන්වහන්සේ මුහුදේ හෙළා ලූ සේක. ඔහුගේ හොඳ ම නිලධාරීහු රතු මුහුදේ ගිලී ගියාහු ය. ගැඹුරු ජල කඳ ඔවුන් වසා ගත්තේ ය; පත්ලට ම උන් කිඳා බැස්සේ, ගලක් පරිද්දෙනි! අහෝ ස්වාමින්වහන්ස, බලයෙන් තේජාන්විත ය, ඔබගේ දකුණු අත, අහෝ ස්වාමින්වහන්ස, සතුරන් විසුරුවා දැමී ය, ඔබගේ දකුණු අත. “ඔබගේ තේජශ්‍රීයේ මහත්කමින් ඔබ, ඔබට එරෙහිවූවන් බිඳ හෙළූ සේක. ඇවිළෙන ඔබේ කෝපය, ඔබ මුදා හළ කල්හි එයින් උන් දැවී ගියේ ඉපනැලි පරිද්දෙනි. ඔබගේ නාස් පුඩුවල හුස්මේ සැරකමින් ජල කඳ උඩට ගොඩ ගැසිණි. ප්‍රචණ්ඩ ජල කඳ තාප්පයක් සේ සිට ගත්තේ ය. මුහුද මැද ගැඹුරු ජල කඳ මිදුණි. සතුරා උදම් අනමින්, ‘මම ලුහුබැඳ යමි; උන් අල්ලාගමි. මම කොල්ලය බෙදමි. ඔවුන් ගැන මගේ මනදොළ සපුරා ගනිමි. මගේ අසිපත ඇද, මගේ අතින් ඔවුන් වනසන්නෙමි’ යි කී ය. එහෙත් ඔබ ඔබේ හුස්ම පිම්ඹ කල, මුහුද ඔවුන් වසා ගත්තේ ය. බලගතු ජල කඳ තුළට ඔවුන් ගිලී ගියේ ඊයම්-බරු මෙනි. දෙවිවරුන් අතරේ ඔබ හා සමාන අන් කවුරු ද? අහෝ ස්වාමින්වහන්ස! ශුද්ධත්වයෙන් තේජස් වූත්, මහිමයෙන් භයංකර වූත්, හාස්කම් කරන්නාවූත් ඔබ වගේ තව කවුරු ද? “ඔබේ දකුණත ඔබ දිගු කළ විට පොළොව ඔවුන් ගිලගත්තේ ය. ඔබ මිදූ ජනයාට නොමියෙන ඔබේ ප්‍රේමයෙන් ඔබ ම මග පෙන්වන්නාහ. ඔබේ ශුද්ධ නිවස්නය වෙත ඔබේ ම ශක්තියෙන් ඔබ ඔවුනට මග පෙන්වන්නාහ. ඒ ඇසූ ජාතීහු වෙවුලන්නෝ ය. සන්තාපය පිලිස්තිවාසීන් අල්ලා ගන්නේ ය. ඒදොම් ප්‍රධානීහු ත්‍රස්ත වූවාහු ය. මෝවබ් නායකයෝ වෙවුලීමට හසු වූවෝ ය. කානානි වාසී සියල්ලෝ දියවී ගියෝ ය. භීතිය හා සන්ත්‍රාසය, ඔවුන් පිට පතිත වන්නේ ය. ඔබගේ ජනයා පසු කර යන තෙක් අහෝ ස්වාමින්වහන්සේ ඔබ මිල දී ගත් ජනයා නික්ම යන තෙක්, ඔබගේ බාහුවේ බලය නිසා, ගලක් මෙන් ඔවුහු නිශ්චල වන්නෝ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබේ වාසයට ඔබ තැනූ ස්ථානය ද අහෝ ස්වාමිනි, ඔබේ අත්වලින් ඔබ පිහිටූ ශුද්ධස්ථානය ද වන ඔබගේ උරුමයේ කන්ද වෙත ඔබ ඔවුන් ගෙනවුත්, එහි සිටුවන සේක. “සදහටම-සදාතනිකව ස්වාමින්වහන්සේ රජකම් කරන්නාහ.” පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද මුහුදට පිවිසි කල, ස්වාමින්වහන්සේ ඔවුන් පිටට මුහුදු ජලය ආපසු ගලා එන්නට සැලසූ සේක. එහෙත් ඉශ්‍රායෙල් ජනයා, මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ.