නික්මයාම 10:13-28

නික්මයාම 10:13-28 SCV

එබැවින් මෝසෙස් ඊජිප්තු දේශය පිටට තම සැරයටිය දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ දවස මුළුල්ලෙහිත්, රැය මුළුල්ලෙහිත් දේශය ඔස්සේ පෙරදිග සුළඟක් හමන්නට සැලසූ සේක. උදෑසන වන විට ඒ සුළඟින් පළඟැටි ගෙනැවිත් තිබිණි. උන් මුළු ඊජිප්තු දේශය ම ආක්‍රමණ කරමින්, දේශයේ හැම පෙදෙසක ම පැලපදියම් වූයේ ගණනින් අසංඛ්‍යව ය. ඒ සා පළඟැටි සේනා ඉන් පෙර කිසි කලෙක ඇති වූයේවත්, මතු ඇති වන්නේවත් නැත. පොළෝ තලය උන්ගෙන් කළු පැහැ ගන්වමින්, උන් මුළු පොළෝ තලය ම වසා ගත්හ. ගල් වැස්සෙන් පසු ඉතිරි ව තිබූ සියල්ල වන දේශයේ සියලු පැළෑටි ද ගස්වල වූ පල ද උන් කා දැමූහ. කෙත් වතුවල පැළෑටියක හෝ ගසක හෝ කොළ පැහැති කිසිවක් මුළු ඊජිප්තු දේශය තුළෙහි ම ඉතිරි නො වී ය. එවිට පාරාවෝ වහා මෝසෙස් හා ආරොන් කැඳවා, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිවත්, ඔබට එරෙහිවත් මම පව් කළෙමි. මේ වතාවටත් මගේ පාපයට කමා වී, මේ මරණීය ව්‍යසනය මා වෙතින් පහ කරන ලෙස ඉල්ලා ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට කන්නලව් කරන්නැ” යි ඉල්ලී ය. මෝසෙස් එවිට පාරාවෝ වෙතින් බැහැර ව ගොස්, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ සුළඟ, අති ප්‍රබල අපරදිග සුළඟකට හැරවූ සේක. එම සුළඟින් පළඟැටි රතු මුහුදට ගසා ගෙන යන ලදහ. ඊජිප්තු දේශයේ කොතැනකවත් එක පළඟැටියකුදු ඉතිරි නො වී ය. එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. ඔහු ඉශ්‍රායෙල්වරුනට යෑමට ඉඩ දුන්නේ නැත. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඊජිප්තු දේශය මත අන්ධකාරයක් පැතිරෙන පිණිස, අතගා බැලිය හැකි තරම් අන්ධකාරයක් පැතිරෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් අහස දෙසට තම අත දිගු කළේ ය. එවිට මුළු ඊජිප්තු දේශය ඝන අන්ධකාරයකින් තුන් දවසක් ම වැසී ගත්තේ ය. තුන් දවසක් ම කිසිවකුටත් එකිනෙකා දකින්නට හෝ හුන් තැනින් ඈත්-මෑත් වන්නට හෝ නුපුළුවන් විය. එහෙත් සියලු ඉශ්‍රායෙල්වරුනට ඔවුන් විසූ තැන්හි එළිය තිබිණ. එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, ඔහු අමතමින්, “යන්න; ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න. ඔබේ අඹු-දරුවන්ටත් ඔබ සමඟ යා හැකියි. ඔබේ එළු බැටළු හා ගව රංචු පමණක් නවතා යන්නැ” යි කීවේ ය. එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාග පූජා හා දවන යාග ඇති ව යන්නට ඔබ අපට ඉඩ දිය යුතුයි. එබැවින් අපගේ සත්ව සම්පත ද අප සමඟ යා යුතුයි. එක කුරයක්වත් තබා ගිය නො හැකියි. අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමේදී මුන්ගෙන් ඇතමකු අපට වුවමනා වනු ඇත. ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට උපයෝගී කර ගත යුත්තේ කවරක්දැයි අප එහි යන තෙක් ම දන්නේ නැතැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. එබැවින් ඔවුනට යන්නට ඉඩ දීමට ඔහු කැමති වූයේ නැත. පාරාවෝ මෝසෙස්ට කතා කොට, “මගේ දෑහැට නො පෙනී යනු! ආයෙත් මා හමුවට නො ඒමට වග බලා ගනු! නුඹ යළි මගේ මුහුණ දකින දවසේ නුඹ නසිනු ඇතැ” යි කීවේ ය.