එස්තර් 8:3-17

එස්තර් 8:3-17 SCV

එස්තර් රජුගේ පාමුල වැටී, හඬමින් අගාගීය හාමාන්ගේ කුරිරු සැලැස්මත්, යුදෙව් ජනයාට විරුද්ධ ව ඔහු යොදා තිබූ උපාය මාර්ගත් නවතා දමන ලෙස යදිමින්, යළිදු රජුට කන්නලව් කළා ය. එවිට රජු රන් සෙංකෝලය එස්තර් වෙත දිගු කළේ ය; ඈ නැගිට, ඔහු අබියස සිටගත්තා ය. ඈ රජු අමතමින්, “රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, කළ යුතු දේ මේ යයි රජතුමාට සිතේ නම්, රජු මා කෙරේ ප්‍රිය මනාප නම්, මෙසේ කරන්න. රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව් ජනයා වැනසීමට, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන් විසින් උපායශීලී ව ලියා යවන ලද ආඥාපත්, අවලංගු කරන නියෝගයක් ලියනු ලැබේවා. මගේ ජනයා පිට ඒ විපත්තිය එනු බලා, මා ඉවසා දරා සිටින්නේ කෙසේ ද? මගේ ම නෑ පරපුර විනාශ වනු බලා, මා ඉවසා දරා ගන්නේ කෙසේ දැ?” යි කීවා ය. අහෂ්වේරොෂ් රජු, එස්තර් බිසවටත්, යුදෙව්වරයකු වූ මොර්දෙකයිටත් පිළිතුරු දෙමින්, “ඔන්න! හාමාන් යුදෙව්වරුන්ට අත හෙළීමට උපා යෙදූ බැවින්, ඔහුගේ ගේ-දොර මම එස්තර්ට දුනිමි. ඔවුහු පෝරකයේ ඔහු එල්ලා දැමූහ. දැන් යුදෙව් ජනයා උදෙසා හොඳ ම දේ මේ යයි ඔබට පෙනෙන හැටියට රජුගේ නමින් වෙනත් ආඥාවක් කෙටුම්පත් කර, රජුගේ පේරැස් මුද්දෙන් එය මුද්‍රා තබන්න. මන්ද රජුගේ නමින් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රා තබන ලද කිසිදු ලියවිල්ලක් අවලංගු කළ නො හැකි යැ” යි පැවසී ය. එකල රජුගේ ලේකම්වරුන් කැඳවන ලදී. ඒ, තුන් වන මාසය වන සීවාන් මස විසිතුන් වන දිනයයි. ඔවුහු මොර්දෙකයිගේ සියලු නියෝග, ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක වූ යුදෙව්වරුන්ට ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයින්ට ද ප්‍රාන්ත-පාලකයන්ට ද ජන අධිපතීන්ට ද ලියා යැවූහ. එම නියෝග, ඒ ඒ ප්‍රාන්තයන්ට පොදු අකුරින් ද එක් එක් ජනතාවගේ මව් බසින් ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ ම අකුරින් හා භාෂාවෙන් ද ලියන ලදී. ඔහු මෙම ආඥාපත් අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා, රජුගේ පේරැස් මුදුවෙන් මුද්‍රා තබා, රජුගේ අස්හලේ ම උපන්, ජවාධික අශ්වයින් පිට නැගී යන රාජ දූතයින් අත පිටත් කර යැවී ය. රජුගේ මෙම ආඥාපත් මගින් හැම පුරවරයක ම වෙසෙන යුදෙව්වරුන්ට එක් රැස් වී, තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ ද තමන්ට හෝ තම භාර්යාවන් හා දරුවන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්‍රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද ඔවුන්ගේ සතුරන්ගේ දේපළ කොල්ලකෑමේ ද අයිතිය අනුමත කරන ලදී. අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව්වරුන්ට එසේ ක්‍රියා කිරීම සඳහා නියම කරන ලද දිනය වූයේ, අදාර් මස හෙවත් දොළොස් වන මස දහතුන් වන දිනයයි. ඒ දිනයේ තම සතුරන්ගෙන් පළි ගැනීම සඳහා යුදෙව් ජනයා සූදානම් ව සිටින පිණිස, එම ආඥා ලියවිල්ලේ පිටපතක් හැම ප්‍රාන්තයක ම නීතිය වශයෙන් නිවේදන කොට, හැම ජනතාවකට ම දැනගන්නට සැලැස්විය යුතු විණි. රාජ දූතයෝ රජුගේ විධානයෙන් පිටත් ව, යුහු යුහු ව රාජකීය-අශ්වයින් පන්නමින්, පිම්මේ ගියහ. රාජාඥාව ෂූෂන් බළකොටුවෙහි ද ප්‍රකාශයට පත් කරන ලදී. නිල් සහ සුදු පැහැති රාජකීය ඇඳුමින් ද ලොකු රන් ඔටුන්නකින් ද දම් පැහැ අගනා හණ ලෝගුවකින් ද සැරසුණු මොර්දෙකයි, රජු අබියසින් පිටත් ව ආවේ ය. ෂූෂන් පුරවරයෙහි ප්‍රීති ඝෝෂා නැගෙන්නට විණි. යුදෙව්වරුන්ට එය සොම්නසේ, ප්‍රීතියේ, ප්‍රමෝදයේ හා ගෞරවයේ කාලයක් විය. රජුගේ ආඥාව ගිය හැම ප්‍රාන්තයක ම හා හැම පුරවරයක ම යුදෙව් ජනයා අතරේ ප්‍රීතියත්, ප්‍රමෝදයත් ඇති වී, ප්‍රිය සාද හා උත්සව පවත්වන්නට වන්හ. යුදෙව්වරුන් කෙරේ වූ බියෙන් ඇලළී ගිය වෙනත් ජාතීන්ගෙන් බොහෝ දෙනෙක් තමන් ම යුදෙව්වරුන් බවට පත් වූහ.