එස්තර් 8:3-17

එස්තර් 8:3-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එස්තර් රජුගේ පාමුල වැටී, හඬමින් අගාගීය හාමාන්ගේ කුරිරු සැලැස්මත්, යුදෙව් ජනයාට විරුද්ධ ව ඔහු යොදා තිබූ උපාය මාර්ගත් නවතා දමන ලෙස යදිමින්, යළිදු රජුට කන්නලව් කළා ය. එවිට රජු රන් සෙංකෝලය එස්තර් වෙත දිගු කළේ ය; ඈ නැගිට, ඔහු අබියස සිටගත්තා ය. ඈ රජු අමතමින්, “රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, කළ යුතු දේ මේ යයි රජතුමාට සිතේ නම්, රජු මා කෙරේ ප්‍රිය මනාප නම්, මෙසේ කරන්න. රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව් ජනයා වැනසීමට, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන් විසින් උපායශීලී ව ලියා යවන ලද ආඥාපත්, අවලංගු කරන නියෝගයක් ලියනු ලැබේවා. මගේ ජනයා පිට ඒ විපත්තිය එනු බලා, මා ඉවසා දරා සිටින්නේ කෙසේ ද? මගේ ම නෑ පරපුර විනාශ වනු බලා, මා ඉවසා දරා ගන්නේ කෙසේ දැ?” යි කීවා ය. අහෂ්වේරොෂ් රජු, එස්තර් බිසවටත්, යුදෙව්වරයකු වූ මොර්දෙකයිටත් පිළිතුරු දෙමින්, “ඔන්න! හාමාන් යුදෙව්වරුන්ට අත හෙළීමට උපා යෙදූ බැවින්, ඔහුගේ ගේ-දොර මම එස්තර්ට දුනිමි. ඔවුහු පෝරකයේ ඔහු එල්ලා දැමූහ. දැන් යුදෙව් ජනයා උදෙසා හොඳ ම දේ මේ යයි ඔබට පෙනෙන හැටියට රජුගේ නමින් වෙනත් ආඥාවක් කෙටුම්පත් කර, රජුගේ පේරැස් මුද්දෙන් එය මුද්‍රා තබන්න. මන්ද රජුගේ නමින් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රා තබන ලද කිසිදු ලියවිල්ලක් අවලංගු කළ නො හැකි යැ” යි පැවසී ය. එකල රජුගේ ලේකම්වරුන් කැඳවන ලදී. ඒ, තුන් වන මාසය වන සීවාන් මස විසිතුන් වන දිනයයි. ඔවුහු මොර්දෙකයිගේ සියලු නියෝග, ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක වූ යුදෙව්වරුන්ට ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයින්ට ද ප්‍රාන්ත-පාලකයන්ට ද ජන අධිපතීන්ට ද ලියා යැවූහ. එම නියෝග, ඒ ඒ ප්‍රාන්තයන්ට පොදු අකුරින් ද එක් එක් ජනතාවගේ මව් බසින් ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ ම අකුරින් හා භාෂාවෙන් ද ලියන ලදී. ඔහු මෙම ආඥාපත් අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා, රජුගේ පේරැස් මුදුවෙන් මුද්‍රා තබා, රජුගේ අස්හලේ ම උපන්, ජවාධික අශ්වයින් පිට නැගී යන රාජ දූතයින් අත පිටත් කර යැවී ය. රජුගේ මෙම ආඥාපත් මගින් හැම පුරවරයක ම වෙසෙන යුදෙව්වරුන්ට එක් රැස් වී, තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ ද තමන්ට හෝ තම භාර්යාවන් හා දරුවන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්‍රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද ඔවුන්ගේ සතුරන්ගේ දේපළ කොල්ලකෑමේ ද අයිතිය අනුමත කරන ලදී. අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව්වරුන්ට එසේ ක්‍රියා කිරීම සඳහා නියම කරන ලද දිනය වූයේ, අදාර් මස හෙවත් දොළොස් වන මස දහතුන් වන දිනයයි. ඒ දිනයේ තම සතුරන්ගෙන් පළි ගැනීම සඳහා යුදෙව් ජනයා සූදානම් ව සිටින පිණිස, එම ආඥා ලියවිල්ලේ පිටපතක් හැම ප්‍රාන්තයක ම නීතිය වශයෙන් නිවේදන කොට, හැම ජනතාවකට ම දැනගන්නට සැලැස්විය යුතු විණි. රාජ දූතයෝ රජුගේ විධානයෙන් පිටත් ව, යුහු යුහු ව රාජකීය-අශ්වයින් පන්නමින්, පිම්මේ ගියහ. රාජාඥාව ෂූෂන් බළකොටුවෙහි ද ප්‍රකාශයට පත් කරන ලදී. නිල් සහ සුදු පැහැති රාජකීය ඇඳුමින් ද ලොකු රන් ඔටුන්නකින් ද දම් පැහැ අගනා හණ ලෝගුවකින් ද සැරසුණු මොර්දෙකයි, රජු අබියසින් පිටත් ව ආවේ ය. ෂූෂන් පුරවරයෙහි ප්‍රීති ඝෝෂා නැගෙන්නට විණි. යුදෙව්වරුන්ට එය සොම්නසේ, ප්‍රීතියේ, ප්‍රමෝදයේ හා ගෞරවයේ කාලයක් විය. රජුගේ ආඥාව ගිය හැම ප්‍රාන්තයක ම හා හැම පුරවරයක ම යුදෙව් ජනයා අතරේ ප්‍රීතියත්, ප්‍රමෝදයත් ඇති වී, ප්‍රිය සාද හා උත්සව පවත්වන්නට වන්හ. යුදෙව්වරුන් කෙරේ වූ බියෙන් ඇලළී ගිය වෙනත් ජාතීන්ගෙන් බොහෝ දෙනෙක් තමන් ම යුදෙව්වරුන් බවට පත් වූහ.

එස්තර් 8:3-17 Sinhala Revised Old Version (SROV)

එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාගිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අඬා කන්නලව්කළාය. රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගුකෙළේය. එවිට එස්තර් නැගිට රජු ඉදිරියෙහි සිට කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම්, ඔබගෙන් මට කරුණාවද ලැබී තිබේනම්, එසේම කාරණය රජ්ජුරුවන්ට හරිව පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රියවී නම්, රජුගේ සියලු රටවල සිටින යුදෙව්වරුන් විනාශකරන්ට අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් කළ යෝජනාව එනම් ඔහු ලියා යැවූ ලියුම් අවලංගුකරන පිණිස ලියා අරිනු ලැබේවා. මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය. එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවටත් යුදෙව්වාවූ මොර්දෙකයිටත් කථාකොට: හාමාන්ගේ ගෙය එස්තර්ට දුනිමි, ඔහු යුදෙව්වරුන් පිට අත හෙළූ නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලාදැමුවෝය. ඉතින් නුඹලාට හොඳව පෙනෙන හැටියට නුඹලා යුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකර අරින්න. මක්නිසාද රජුගේ නාමයෙන් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළ පත්‍රයක් කාටවත් අවලංගුකරන්ට බැරියයි කීවේය. එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය. ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රාකොට, රජුගේ අස්හළේ උපන් රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගීයන පණිවිඩකාරයන් අත ලියුම් හැරියේය. එහි ලියා තිබුණේ: එක දවසේම එනම් අදාර් මාසයවූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී, තමුන්ගේ ප්‍රාණ උදෙසා විරුද්ධව සිටින්ටත් තමුන්ට අන්තරායකරන්ට කැමතිවූ සෙනඟද දේශවාසීන්ද යන සියලුම සේනාවල් බාලයන්ද ස්ත්‍රීන්ද ඇතුළුව නැතිකරන්ටත් මරාදමන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකාගන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල එක එක නුවර සිටින යුදෙව්වරුන්ට රජ අවසර දෙන්නේය යනුයි. එක එක පළාතට නියෝගය දෙන පිණිසත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම්ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලුම ජනයන් වෙත ප්‍රසිද්ධකර යවනලද්දේය. පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රත්නිල් සිහින් හණ සළුවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවර වැසියෝද ඝෝෂාකර ප්‍රීතිවූහ. යුදෙව්වරුන්ට එළියද ප්‍රීති සන්තෝෂයද ගෞරවයද ලැබුණේය. රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුභ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.

එස්තර් 8:3-17 Sinhala New Revised Version (NRSV)

එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කතා කොට, රජුගේ පාමුල වැටී, ආගග් ජාතික හාමාන් අදහස් කළ නපුර ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද ව්‍යර්ථ කරන ලෙස අඬා කන්නලව් කළා ය. රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කතා කොට, “රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව. මන්ද, මාගේ සෙනඟට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගෙන සිටින්නේ කොහොම ද? මාගේ ඥාතීන්ගේ විනාශය දැක ඉවසාගෙන සිටින්නේ කොහොම දැ”යි කීවා ය. එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනටත්, ජුදෙව් ජාතික මොර්දෙකයිටත් කතා කොට, “හාමාන්ගේ ගෙය එස්තර්ට දිනිමි. ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව කළ කුමන්ත්‍රණය නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලා දැමීමට සැලැස්සුවෙමි. ඉතින් ඔබට සුදුසු යයි පෙනෙන හැටියට ඔබ ජුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ නිවේදනයක් කිසිවෙකුට අවලංගු කළ නොහැකි ය”යි කීවේ ය. එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී. ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, රජුගේ අස් හලේ උපන්, රාජ සේවයෙහි යෙදූ, ශීඝ්‍රයෙන් ගමන් කළ සෛන්ධවයන් පිට නැඟී යන පණිවුඩකාරයන් අත ලියුම් යැවී ය. මේ ලියුම්වලින් රජතුමා සෑම නගරයක ම සිටි ජුදෙව්වරුන්ට සිය දිවි රැකගැනීම පිණිස සංවිධාන වීමටත්, ඔවුන්ට පහර දෙන්නට තැත් කළ කිනම් ජාතියක හෝ ප්‍රදේශයක හෝ සන්නද්ධ සේවාවන් ඔවුන්ගේ බාලයන් ද ස්ත්‍රීන් ද ඇතුළු සියලු දෙනා සමූලඝාතනය කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් අවසර දෙන ලදී. මේ නියමය අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ජුදෙව්වරුන් ඝාතනය කරන්නට නියම ව තිබුණ අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා ක්‍රියාත්මක වන්නට නියම ව තිබිණි. එක එක පළාතට නියෝගය දෙන පිණිසත්, ජුදෙව්වරුන් තමන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම් ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ම ජනයන් වෙත ප්‍රසිද්ධ කර යවන ලදී. පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍රයෙන් ගමන් කරන සෛන්ධවයන් පිට නැඟී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත් ව ගියෝ ය. ඒ නියෝගය සූසා නම් අගනුවර ද ප්‍රසිද්ධ කරන ලදී. මොර්දෙකයි නිල් හා සුදු පාට රාජ වස්ත්‍ර ද ලොකු රන් ඔටුන්නක් ද රත්නිල් සිහින් හණ සළුවක් ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේ ය. සූසා නගරයේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ. ජුදෙව්වරුන්ට සිත් සැහැල්ලු ගතියක් ද ප්‍රීති සන්තෝෂය ද ගෞරවය ද ඇති විය. රජුගේ අණ හා නියෝගය ප්‍රකාශ කරන ලද සියලු නගරවලත්, ප්‍රදේශවලත් ජුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂය ද මංගල්‍ය ලීලාවක් ද නිවාඩු දවසක් ද විය. ජුදෙව්වරුන් නිසා භීතියට පත් ව සිටි දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක්, ‘තුමූ ජුදෙව්වෝ ය’යි කියාගත්හ.

එස්තර් 8:3-17 New International Version (NIV)

Esther again pleaded with the king, falling at his feet and weeping. She begged him to put an end to the evil plan of Haman the Agagite, which he had devised against the Jews. Then the king extended the gold scepter to Esther and she arose and stood before him. “If it pleases the king,” she said, “and if he regards me with favor and thinks it the right thing to do, and if he is pleased with me, let an order be written overruling the dispatches that Haman son of Hammedatha, the Agagite, devised and wrote to destroy the Jews in all the king’s provinces. For how can I bear to see disaster fall on my people? How can I bear to see the destruction of my family?” King Xerxes replied to Queen Esther and to Mordecai the Jew, “Because Haman attacked the Jews, I have given his estate to Esther, and they have impaled him on the pole he set up. Now write another decree in the king’s name in behalf of the Jews as seems best to you, and seal it with the king’s signet ring—for no document written in the king’s name and sealed with his ring can be revoked.” At once the royal secretaries were summoned—on the twenty-third day of the third month, the month of Sivan. They wrote out all Mordecai’s orders to the Jews, and to the satraps, governors and nobles of the 127 provinces stretching from India to Cush. These orders were written in the script of each province and the language of each people and also to the Jews in their own script and language. Mordecai wrote in the name of King Xerxes, sealed the dispatches with the king’s signet ring, and sent them by mounted couriers, who rode fast horses especially bred for the king. The king’s edict granted the Jews in every city the right to assemble and protect themselves; to destroy, kill and annihilate the armed men of any nationality or province who might attack them and their women and children, and to plunder the property of their enemies. The day appointed for the Jews to do this in all the provinces of King Xerxes was the thirteenth day of the twelfth month, the month of Adar. A copy of the text of the edict was to be issued as law in every province and made known to the people of every nationality so that the Jews would be ready on that day to avenge themselves on their enemies. The couriers, riding the royal horses, went out, spurred on by the king’s command, and the edict was issued in the citadel of Susa. When Mordecai left the king’s presence, he was wearing royal garments of blue and white, a large crown of gold and a purple robe of fine linen. And the city of Susa held a joyous celebration. For the Jews it was a time of happiness and joy, gladness and honor. In every province and in every city to which the edict of the king came, there was joy and gladness among the Jews, with feasting and celebrating. And many people of other nationalities became Jews because fear of the Jews had seized them.