එස්තර් 6:1-13
එස්තර් 6:1-13 SCV
ඒ රැයේ රජුට නින්ද ගියේ නැත. එබැවින්, රාජ්‍ය-තොරතුරු ස්මරණීය ලේඛන පොත ගෙනෙන්නට ඔහු නියෝග කළේ ය. ඔහු ඉදිරියේ ඔවුහු එය කියවූහ. වාසල්-කඩ ආරක්ෂක රජුගේ නපුංසක නිලධාරීන් ව සිටි බිග්තාන් හා තෙරෙෂ් යන දෙදෙනා අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කළ සැලසුම මොර්දෙකයි විසින් අනාවරණ කරන ලද වගට වූ වාර්තාව හමු විණ. “මේ උදෙසා මොර්දෙකයිට කවර ගරු සම්මානයක්, කවර උපහාරයක් පිරිනැමුවා දැ?” යි රජු විමසී ය. රජුට මෙහෙවර කළ පරිවාරකයෝ පිළිතුරු දෙමින්, “ඔහු වෙනුවෙන් කිසිවක් ම කර නැතැ” යි කීවෝ ය. “මාලිග මළුවේ කවුරු සිටී දැ?” යි රජු ඇසී ය. එවිට ම හාමාන්, මාලිගාවේ පිට මළුවට පැමිණියා පමණි. ඔහු පැමිණියේ තමන් පිළියෙල කළ එල්ලුම් ගහේ මොර්දෙකයි එල්ලීම ගැන රජු හා කතා කිරීමට ය. රජුගේ පරිවාරකයෝ පිළිතුරු දෙමින්, “හාමාන් මළුවේ සිටගෙන සිටිතැ” යි කීහ. “ඔහු ඇතුළට කැඳවන්නැ” යි රජු කීවේ ය. හාමාන් එහි පිවිසි කල්හි, රජු ඔහු අමතමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සැලකිය යුත්තේ කෙසේ දැ?” යි ඇසී ය. එවිට හාමාන්, “රජු ඔතරම් ගෞරව දක්වන තැනැත්තා මා මිස අන් කවුරු දැ?” යි තමා තුළෙහි ම සිතා ගත්තේ ය. එබැවින් ඔහු, රජුට පිළිතුරු දෙමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට මෙසේ සලකත්වා. රජු හැඳි රාජකීය සළු ද රජු නැග ගිය රාජකීය කිරීටයක් හිස ලූ අශ්වයකු ද ගෙනෙනු ලැබේවා! ඉන්පසු රජුගේ උසස්තම අධිපතියකු අතට එම සළු හා අශ්වයා බාර දෙනු ලැබේවා! එවිට ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට ඒ සළු හඳවා, ඒ අසු පිට නංවා, ‘ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සලකනු ලබන්නේ මෙලෙස යැ’ යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරවමින්, නගර වීදි ඔස්සේ ඔහු ගෙන යත්වා!” යි පැවසී ය. එවිට රජු හාමාන් අමතමින්, “හනික යන්න; ගොස්, ඔබ කී පරිදි සළු හා අශ්වයා ගෙන, රජ වාසල හිඳ සිටින මොර්දෙකයි යුදෙව්වාට එසේ කරන්න. ඔබ සඳහන් කළ කිසිවක් අතපසු නො කරන්නැ” යි නියෝග කළේ ය. එබැවින් හාමාන්, රාජ සළු හා අශ්වයා ගෙන, මොර්දෙකයිට සළු හඳවා, අසු පිට නංවා, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සලකනු ලබන්නේ මෙලෙස යැ” යි මොර්දෙකයි ඉදිරියෙන් ප්‍රකාශ කරමින්, ඔහුට පෙරටුව නගර වීදි ඔස්සේ සැරි සැරී ය. ඉන්පසු මොර්දෙකයි රජ වාසල වෙත ආපසු ආවේ ය. එහෙත් හාමාන් ශෝකයෙන් මුහුණ වසාගෙන, වහ වහා ගෙදර ගියේ ය. ඔහු තම බිරිඳ, සෙරෙෂ්ට හා ඔහුගේ සියලු මිතුරන්ට තමාට සිදු වූ හදිය පැවසී ය. එවිට ඔහුගේ උපදේශකයෝ හා ඔහුගේ බිරිඳ සෙරෙෂ් කතා කරමින්, “ඔබගේ වැටීම ඇරඹුණේ මේ යුදෙව් ජාතික මොර්දෙකයි ඉදිරියෙනි; ඔහුට එරෙහිව නැගී සිටින්නට ඔබට නො හැකි ය; ඔබේ පරිහානිය නියත යැ!” යි පැවසූහ.

