එස්තර් 5:1-8

එස්තර් 5:1-8 SCV

තුන් වන දවසේ, එස්තර් තම රාජකීය සළු පිළියෙන් සැරසී, රජුගේ නිවස්නය ඉදිරිපිට සිංහාසන කුටියේ ඇතුළු මළුවේ සිටගත්තා ය. මාලිග ශාලා-දොරටු පිවිසුම ඉදිරිපිට සිංහාසන කුටියේ රජු ඔහුගේ රාජකීය සිංහාසනයේ හිඳ සිටියේ ය. එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය. එවිට රජු ඇය අමතමින්, “කිම ද එස්තර් බිසවුනි? කුමක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය ඔබට දෙනු ලැබේ යැ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙන්නී, “රජතුමා සතුටු වන්නේ නම්, රජතුමා වෙනුවෙන් මා පිළියෙල කර ඇති භෝජන සංග්‍රහයට රජතුමා හා හාමාන් අද පැමිණුන මැනවි” යි කීවා ය. එවිට රජු එස්තර් කී පරිදි කරන පිණිස, “වහාම හාමාන් කැඳවන්නැ” කීවේ ය. මෙසේ, රජු හා හාමාන් එස්තර් විසින් පිළියෙල කරන ලද භෝජන සංග්‍රහයට පැමිණියහ. ඔවුන් මිදි යුෂ පානය කරමින් සිටියදී, යළි එස්තර් ඇමතූ රජු, “හොඳයි, මොකක් ද ඔබේ අයැදුම? එය ඔබට ප්‍රදාන කරනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත් එය ඉටු කරනු ලැබේ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙමින්, “මගේ අයැදීමත්, මගේ ඉල්ලීමත් මෙයයි: රජතුමා ඉදිරියේ මට ප්‍රසාදය ලැබේ නම්, මගේ අයැදුම ප්‍රදානය කර, මගේ ඉල්ලීම ඉටු කිරීමට රජතුමන් ප්‍රසන්න නම්, හෙට රජතුමා හා හාමාන් වෙනුවෙන් මා පිළියෙල කරන භෝජන සංග්‍රහයට ඔබ දෙපොළ අව මැනවි; එවිට රජතුමා කී පරිදි මම කරන්නෙමි” යි ඈ කීවා ය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 5:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය