එස්තර් 5:1-8

එස්තර් 5:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තුන් වන දවසේ, එස්තර් තම රාජකීය සළු පිළියෙන් සැරසී, රජුගේ නිවස්නය ඉදිරිපිට සිංහාසන කුටියේ ඇතුළු මළුවේ සිටගත්තා ය. මාලිග ශාලා-දොරටු පිවිසුම ඉදිරිපිට සිංහාසන කුටියේ රජු ඔහුගේ රාජකීය සිංහාසනයේ හිඳ සිටියේ ය. එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය. එවිට රජු ඇය අමතමින්, “කිම ද එස්තර් බිසවුනි? කුමක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය ඔබට දෙනු ලැබේ යැ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙන්නී, “රජතුමා සතුටු වන්නේ නම්, රජතුමා වෙනුවෙන් මා පිළියෙල කර ඇති භෝජන සංග්‍රහයට රජතුමා හා හාමාන් අද පැමිණුන මැනවි” යි කීවා ය. එවිට රජු එස්තර් කී පරිදි කරන පිණිස, “වහාම හාමාන් කැඳවන්නැ” කීවේ ය. මෙසේ, රජු හා හාමාන් එස්තර් විසින් පිළියෙල කරන ලද භෝජන සංග්‍රහයට පැමිණියහ. ඔවුන් මිදි යුෂ පානය කරමින් සිටියදී, යළි එස්තර් ඇමතූ රජු, “හොඳයි, මොකක් ද ඔබේ අයැදුම? එය ඔබට ප්‍රදාන කරනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත් එය ඉටු කරනු ලැබේ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙමින්, “මගේ අයැදීමත්, මගේ ඉල්ලීමත් මෙයයි: රජතුමා ඉදිරියේ මට ප්‍රසාදය ලැබේ නම්, මගේ අයැදුම ප්‍රදානය කර, මගේ ඉල්ලීම ඉටු කිරීමට රජතුමන් ප්‍රසන්න නම්, හෙට රජතුමා හා හාමාන් වෙනුවෙන් මා පිළියෙල කරන භෝජන සංග්‍රහයට ඔබ දෙපොළ අව මැනවි; එවිට රජතුමා කී පරිදි මම කරන්නෙමි” යි ඈ කීවා ය.

එස්තර් 5:1-8 Sinhala Revised Old Version (SROV)

තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය. එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය. එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, නුඹට ඕනෑ මොකද? නුඹේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් නුඹට දෙනු ලැබේයයි කීයේය. එස්තර්ද: රජ්ජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජ්ජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කෑමට රජ්ජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කීවාය. එවිට රජ එස්තර් කී ලෙස කරන්ට හාමාන් ඉක්මන්කරවන්නැයි කීවේය. මෙසේ රජද හාමාන්ද එස්තර් පිළියෙළකළ මංගල්‍යයට ආවෝය. රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබෙන්නේය, නුඹේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය. එවිට එස්තර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය.

එස්තර් 5:1-8 Sinhala New Revised Version (NRSV)

තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය. එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය. එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය. එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය. එවිට රජ කතා කරමින්, “එස්තර්ගේ කැමැත්ත කරන පිණිස හාමාන් ඉක්මනින් කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට පැමිණියෝ ය. රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, “ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය. එවිට එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.