දේශනාකරු 5:10-20

දේශනාකරු 5:10-20 SCV

මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ; වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ. මෙය ද නිරර්ථක ය. බඩු භාණ්ඩ වැඩි වන කල, ඒවා පරිහරණ කරන්නෝ ද වැඩි වෙති. ඒවා බලා, තම ඇස පිනවා ගැනීමට වඩා වැඩි ප්‍රයෝජනයක් ඒවායේ හිමිකරුවාට වේ ද? කම්කරුවා ආහාර අඩුවෙන් ගත්තත්, වැඩියෙන් ගත්තත් ඔහුගේ නින්ද මිහිරි ය; එහෙත් ධනවතාගේ ධනස්කන්ධය ඔහුට නිදාගන්නට ඉඩ නො දෙයි. හිරු යට මහා නපුරක් මා දැක ඇත: වස්තුව ගොඩ ගසා ගැනීමෙන් ඒවායේ අයිතිකරුවාට හානි පැමිණීම, නැතහොත් ඒ වස්තුව, යම් අභාග්‍යකින් නැති-භංග වී, තමා විසින් බිහි කළ පුත්‍රයාට කිසිවක් ඉතිරි නො වීම ය. ඔහු තම මවගේ කුසයෙන් නික්ම එන්නේ නිරුවතිනි; ඔහු පිටත් ව යන්නේ ඔහු ආ ලෙසින් ම ය; තමන් වෙහෙස ව හරිහම්බ කර ගත් කිසිවක් ඔහු තම අතින් ගෙන, රැගෙන යන්නේ නැත. මෙය ද බරපතළ නපුරකි: මනුෂ්‍යයා එන්නේ කෙලෙස ද, ඔහු යන්නේ ද එලෙසින් ම ය, සුළඟ උදෙසා වෙහෙසීමෙන් ඔහුට අත්වන ප්‍රයෝජනය කුමක් ද? ඔහුගේ ජීවිතයේ සියලු දවස් දැඩි සාංකාවෙන් ද රෝගයෙන් හා කෝපයෙන් ද යුතු ව ඔහු අන්ධකාරයෙහි වළඳන්නේ ය. දෙවියන්වහන්සේ කෙනකුට දෙන ඔහුගේ ජීවිතයේ සියලු දවස්හි දී කා බී සෑහී, හිරු යටදී වෙහෙසී ඔහු කරන වැඩ කටයුතුවලින් සෑහීමට පත්වීම හොඳ ය, සුදුසු ය යන්න මම අවබෝධ කර ගතිමි. ඔහුගේ පංගු කොටස එයයි. තවද දෙවියන්වහන්සේ යම් කෙනකුට ධනය හා සම්පත් ද ඒවා භුක්ති විඳීමේ හැකියාව ද තම පංගු කොටස පිළිගෙන, තම වැඩ කටයුතු ගැන ප්‍රීතිවීම ද ලබා දෙන්නේ නම්, එය දෙවියන්වහන්සේගේ දීමනාවකි. දෙවියන්වහන්සේ ම ඔහුගේ හදවත ප්‍රමෝදයෙන් පුරවා ඇති බැවින්, තම ජීවිත දවස් ගැන වඩා කල්පනා කිරීමට ඔහුට සිදු නො වේ.