දේශනාකරු 1:1-11

දේශනාකරු 1:1-11 SCV

දාවිත්ගේ පුත්‍රයා වන යෙරුසලමේ රජු වූ දේශනාකරුගේ වචන: “නිරර්ථක ය! නිරර්ථක ය! මුළුමනින් ම නිරර්ථක ය! හැම දෙයක් ම නිරර්ථක යැ” යි දේශනාකරු පවසයි. හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද? පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී. හිරු නැග එයි; හිරු බැස යයි; කඩිනමින් එය නැග එන තැනට ආපසු යයි. සුළඟ දකුණු දෙසට හමයි; එය වටේට උතුරට යයි; සුළඟ වටයෙන් වටයට හමා යමින්, සුළඟ එහි ගමන් පථයක යළි පැමිණෙයි. සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි. කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම් හැම දෙයක් ම වෙහෙසකර ය; දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ; ඇසීමෙන් කන ද නො පිරේ. කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත. “මෙන්න! මේක අලුත් දෙයක්” ය කියා කීමට හැකි කිසිවක් තියේ ද? බොහෝ ඉහතදී එය මෙහි තිබිණ; අපේ කාලයට ඉස්සර එය මෙහි තිබී ඇත. පූර්වයේ සිටියවුන් ගැන සිහි කිරීමක් නැත; තවමත් එන්නට සිටින්නවුන් ගැන ද ඔවුනට පසුව පැමිණෙන්නවුන් විසින් සිහි නො කරනු ඇත.