ද්විතීය 9

9
ධර්මිෂ්ඨකම නිසා නො වේ
1එම්බා ඉශ්‍රායෙල්, මේ අසනු! අහස උසට නැගුණු ප්‍රාකාර සහිත නුවර ඇති, ඔබට වඩා බලවත්, ඔබට වඩා සවිමත් ජාතීන් අත්පත් කර ගනු ලබන පිණිස, ඔබ දැන් යොර්දාන් ගඟ තරණය කරන්නට සූදානමින්. 2උස, එමෙන් ම ශක්තිමත් මිනිසුන් වන ඒ ජනයා අනාක්වරු ය. ඔවුන් ගැන ඔබ දනී: “අනාක් පරපුරේ අයට එරෙහිව නැගී සිටිය හැක්කේ කවරකුට ද?” යන කියමන ද ඔබ අසා තිබේ. 3එහෙත් විනාශ කරන ගින්නක් සේ, ඔබට පෙරටුව එතෙරට යන තැනැත්තාණන්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වග අද ඔබ දැනගත යුතුයි. උන්වහන්සේ ඔවුන් නැති කර දමන සේක. ඔබ ඉදිරියේ උන්වහන්සේ ඔවුන් යටත් කරන සේක. එවිට ඔබ, ඔවුන් පලවා හැර, ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, වහා ඔවුන් සමූලඝාතන කර දමනු ඇත.
4ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පලවා හැර දැමූ පසු, “මේ දේශය උරුම කර ගන්නා පිණිස ස්වාමින්වහන්සේ මා මෙහි ගෙන ආවේ, මගේ ධර්මිෂ්ඨකම නිසා යැ” යි ඔබේ හද තුළ කියා නො ගන්න. ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පලවා හරිනු ලබන්නේ එනිසා නො ව, ඒ ජාතීන්ගේ දුෂ්ටකම් නිසා ය. 5ඔවුන්ගේ දේශය ඔබ අත්කර ගනු ඇත්තේ, ඔබේ ධර්මිෂ්ඨකම නිසාවත්, ඔබේ අවංකත්වය නිසාවත් නො වේ. මේ ජාතීන්ගේ දුෂ්ටකම් නිසා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් පන්නා දමන්නේ, ඔබේ ආදි පියවරුන් වන ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද උන්වහන්සේ දිවුළ වචනය, ඉෂ්ට කරන පිණිස ය. 6එබැවින් වටහා ගන්න! ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ සාරවත් දේශය උරුම කර ගැනීමට ඔබට දෙන්නේ, ඔබේ ධර්මිෂ්ඨකම නිසා නො වේ. මන්ද නුඹලා මහ මුරණ්ඩු ජනතාවකි.
රන් වස්සා
7පාළුකරයේදී ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කුපිත කර වූ අයුරු කිසි දින අමතක නො කර, මතක තබා ගන්න. ඊජිප්තුවෙන් නික්මුණු දා සිට මෙතැනට ළඟා වන තෙක් ම, ඔබ ස්වාමින්වහන්සේට එරෙහිව හිතුවක්කාරකම් කර තිබේ. 8හොරේබ්හි දී ඔබ, ස්වාමින්වහන්සේගේ උදහස ඇවිළ වූයේ ඔබ විනාශ කර දැමීමට තරම් උන්වහන්සේ උරණ කරවමිනි. 9ගල් පුවරු ලබා ගැනීමට, ස්වාමින්වහන්සේ ඔබ සමඟ කර තිබූ ගිවිසුමේ ගල් පුවරු ලබා ගන්නට, මා කන්දට නැගුණු කල, දහවල හතළිහක් හා රෑ හතළිහක් එහි ගත කළෙමි. එහිදී මා රොටි කෑවේවත්, වතුර බීවේවත් නැත. 10දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක, ස්වාමින්වහන්සේ මට දුන් සේක. ජනයා එක් රැස් වූ දවසේ කන්ද පිට ගිනි මැද සිට, ස්වාමින්වහන්සේ ඔබට ප්‍රකාශ කරන ලද සියලු ආඥා ඒවායේ තිබුණි.
11ඒ දහවල හතළිහත්, රෑ හතළිහත් ගෙවුණු පසු, ගිවිසුමේ පුවරු වන ගල් පුවරු දෙක ස්වාමින්වහන්සේ මට දුන් සේක. 12ඉන්පසු මා ඇමතූ ස්වාමින්වහන්සේ, “නැගිට වහා මෙතැනින් පහළ බැස යන්න. ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ ජනයා අන්න! දූෂ්‍ය වෙලා. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් මේ විගසින් ඉවත හැරී, ඔවුන් තමන්ට වාත්තු පිළිමයක් තනාගෙනැ” යි කී සේක.
13 ස්වාමින්වහන්සේ යළි මා අමතමින්, “මා මේ ජනයා දැක්කා. සැබවින් ම ඔවුන් මහ මුරණ්ඩු ජනතාවක්. 14ඔවුන් විනාශ කර, අහස යටින් ඔවුන්ගේ නම මකා දමන්නට මට ඉඩ හරින්න. ඔවුනට වඩා බලවත්, ගණනින් වැඩි ජාතියක් මම ඔබෙන් ඇති කරන්නෙමි” යි කී සේක.
15එබැවින් මා හැරී කන්දෙන් බසින්නට වුණා. කන්ද ගිනි ඇවිළෙමින් තිබුණා. ගිවිසුමේ ගල් පුවරු දෙක මගේ දෑතේ තිබුණා. 16මා බැලූ කල, මා දුටුවේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව, ඔබ පව් කර තිබූ හැටියි. ඔබ වස්සකුගේ හැඩයෙන් යුත් වාත්තු පිළිමයක් ඔබට තනා ගෙන, ස්වාමින්වහන්සේ ඔබට ආඥා කර තිබූ මාර්ගයෙන් ඉක්මනින් ම ඉවත හැරී ගොස් තිබුණා. 17එබැවින් මා, මගේ දෑතේ වූ ගල් පුවරු දෙක ඔබේ ඇස් ඉදිරිපිටදී බිඳී යන සේ දමා ගැසුවා.
18 ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කර, එමඟින් උන්වහන්සේ කුපිත කරවා, ඔබ කර තිබූ සියලු පාප නිසා, මා යළිත් වරක් දහවල හතළිහක් හා රෑ හතළිහක් රොටි නො කා, වතුර නො බී, ස්වාමින්වහන්සේ අබියස මුණින් වැටී සිටියා. 19මා භය වී සිටියේ, නුඹලා වනසා දමන තරමට උන්වහන්සේ නුඹලා සමඟ උරණ ව සිටි බැවින්, ස්වාමින්වහන්සේගේ කෝපයත්, උදහසත් ගැනයි. එහෙත්, ස්වාමින්වහන්සේ නැවතත් මට සවන් දුන්නා. 20ස්වාමින්වහන්සේ ආරොන් වනසා දමන තරමට ඔහු සමඟ ද උරණ ව සිටියා. එහෙත් ඒ අවස්ථාවේ මා ආරොන් උදෙසාත් යාච්ඤා කළා. 21ඉන්පසු මා ඔබේ ඒ පාපයේ පිළිමය වූ ඔබ සාදා තිබූ වස්සා ගෙන, ගින්නෙහි ලා පිලිස්සුවා. පසුව එය තළා, දූලි සේ සිහින් කුඩු වන තුරු අඹරා, කන්දෙන් ගලා බස්නා දිය පහරට ඒ දූලි විසිකළා.
22නුඹලා තබේරා, මස්සා හා කිබ්‍රොත්-හත්තාවා යන තැන්වලදීත් ස්වාමින්වහන්සේ කෝප කළා.
23 ස්වාමින්වහන්සේ කාදෙෂ්-බර්නේය සිට ඔබ පිටත් කර හරිමින්, “යන්න; මා ඔබට දී ඇති දේශය අත්පත් කර ගන්නැ” යි පැවසූ කල්හි ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණට එරෙහිව කැරලි ගැසූ ඔබ, උන්වහන්සේ කෙරේ විශ්වාසය තැබුවේවත්, උන්වහන්සේට කීකරු වුණේවත් නැහැ. 24මා ඔබ දැන සිටි දවසේ පටන් නුඹලා ස්වාමින්වහන්සේට විරුද්ධ කැරලිකාරීන්.
25දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ අබියස මා මුණින් තලා වැතිර සිටියේ, නුඹලා විනාශ කරන්නෙමැයි ස්වාමින්වහන්සේ පවසා තිබූ නිසයි. 26මම ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබේ ශ්‍රේෂ්ඨ බලයෙන් ඔබ මුදා ගත්, බලවත් හස්තයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ උරුමය වූ ඔබේ ජනතාව විනාශ නො කරනු මැනවි. 27ඔබගේ සේවකයින් වූ ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සිහි කළ මැනවි. මේ ජනයාගේ මුරණ්ඩුකමත්, ඔවුන්ගේ දුෂ්ටකමත්, ඔවුන්ගේ පාපයත් නො තැකුව මැනවි. 28නැතහොත්, ‘ස්වාමින්වහන්සේ ඔවුනට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන යෑමට උන්වහන්සේ අපොහොසත් වූ නිසාත්, උන්වහන්සේ ඔවුනට වෛර කළ නිසාත්, පාළුකරයේ ඔවුන් මරා දමන පිණිස, උන්වහන්සේ මේ දේශයෙන් පිටතට ඔවුන් ගෙන ගිය සේකැ’ යි ඔබවහන්සේ විසින් අප පිටතට ගෙන එනු ලැබූ දේශ වාසීන් කියනු ඇත. 29එනමුත් මොවුහු ඔබගේ ම ජනතාව ය; ඔබගේ මහත් බලයෙන් ද දිගු කළ ඔබේ බාහුවෙන් ද යුතු ව ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබගේ ම උරුමය යැ” යි පැවසීමි.

දැනට තෝරාගෙන ඇත:

ද්විතීය 9: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න