ද්විතීය 7

7
තෝරාගත් ජනතාව
1හිමි කර ගැනීමට ඔබ පිවිසෙන දේශයට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගෙනවුත්, ඔබට වඩා විශාලවූත්, බලවත් වූත් ජාතීන් හතක් වන හිත්තිවරුන් ද ගිර්ගාෂිවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් හා යෙබූසිවරුන් ද යන නොයෙක් ජාතීන් ඔබ ඉදිරිපිටින් පන්නා දමන කල, 2ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ අතට ඔවුන් හසුකර දීමෙන්, ඔබ ඔවුන් පරාජය කළ විට, ඔබ ඔවුන් මුළුමනින් ම විනාශ කර දැමිය යුතු ය.#7:2 මුළුමනින් ම විනාශ කර දැමිය යුතු ය එනම් විනාශය පිණිස ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස වෙන් කරනු ලැබීම ඔවුන් හා කිසිදු ගිවිසුමක් කර නො ගන්න. ඔවුන්ට කිසි දයාවක් නො දක්වන්න. 3ඔවුන් හා ආවාහ විවාහ කර නො ගන්න. ඔබගේ දූවරුන් ඔවුන්ගේ පුතුන්ට දීම හෝ ඔවුන්ගේ දූවරුන් ඔබගේ පුතුන්ට ගෙන ඒම නො කරන්න. 4මන්ද අන් දෙවි දේවතාවුනට මෙහෙ කරන පිණිස ඔවුන්, ඔබගේ පුතුන් මා අනුගමන කිරීමෙන් ඉවත හරවනු ඇත. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, වහා ඔබ වනසා දමනු ඇත. 5ඔබ ඔවුන්ට කළ යුත්තේ ඔවුන්ගේ පූජාසන කඩා දැමීම; ඔවුන්ගේ පූජනීය ගල් කුලුනු බිඳ දැමීම; අෂේරා කණු කපා දැමීම හා ඔවුන්ගේ දේව පිළිම ගින්නේ පිලිස්සීමයි. 6මන්ද ඔබ, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ වූ ජනතාවක් ය. ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මේ මිහි පිට වෙසෙන සියලු ජනතාවන් අතරින් තමන්වහන්සේගේ ජනතාවක් වන පිණිස, උන්වහන්සේට අනර්ඝ වස්තුවක් වන පිණිස තෝරා ගෙන ඇත්තේ ඔබ ය.
7 ස්වාමින්වහන්සේ ඔබ වෙත ස්වකීය සෙනෙහස පා, ඔබ තෝරා ගත්තේ සෙසු ජනතාවනට වඩා ඔබ ගණනින් අධික නිසා නො වේ; මන්ද සියලු ජනයින් අතරින් ඔබ ඉතාමත් අල්පයි. 8එසේ වූවත් ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කළ නිසාත්, බලවත් හස්තයකින් ඔබ පිටතට ගෙන ඒමට ද ඊජිප්තු රජු වූ පාරාවෝගේ බලයෙන්, වහල්කමේ දේශයෙන් ඔබ මුදා ගැනීමට ද ඔබේ ආදි පියවරුනට උන්වහන්සේ ශපථ කළ දිවුරුම රක්ෂා කළ නිසාත් ය. 9එබැවින් මෙය දැනගන්න: ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ය; තමන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්නවුන්ගේ පරම්පරා දහසකට ස්වකීය නොමියෙන ප්‍රේමයේ ගිවිසුම රක්ෂා කරන විශ්වසනීය දෙවියන්වහන්සේ ය. 10එහෙත්,
උන්වහන්සේට වෛර කරන්නවුන් විනාශ කිරීමෙන්, උන්වහන්සේ ඔවුන්ගේ මුහුණට ම දඬුවම් කරන්නාහ.
උන්වහන්සේට වෛරවන්නන්ගේ මුහුණට ම දඬුවම් දීමට උන්වහන්සේ පමා නො වන්නාහ.
11එබැවින් අද මා ඔබට දෙන ආඥා හා නියෝග ද නියමයන් ද පිළිපැදීමට වග බලා ගන්න.
12ඔබ මෙම නියමයන් වෙත අවධානය යොමා, ඒවා පිළිපැදීමට වග බලා ගන්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුළ ලෙස ඔබ හා ඇති ස්වකීය නොමියෙන ප්‍රේමයේ ගිවිසුම සුරකින සේක. 13උන්වහන්සේ ඔබට ප්‍රේම කරනු ඇත; ඔබට ආශිර්වාද කරනු ඇත; ගණනින් ඔබ වැඩි කරනු ඇත. ඔබට දෙන්නෙමැයි ඔබේ ආදි පියවරුන්ට උන්වහන්සේ දිවුළ දේශයේදී ඔබගේ දරු පලවලට ද ඔබේ ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් යන ඔබේ දේශයේ අස්වනුවලට ද ඔබේ ගව හා එළු, බැටළු රංචුවල පැටවුනට ද උන්වහන්සේ ආශිර්වාද කරන සේක. 14අන් කවර ජනතාවකටත් වඩා ඔබ ආශිර්වාද ලබනු ඇත. ඔබ, ස්ත්‍රීන් හා පුරුෂයින් අතරේ පමණක් නො ව, ඔබගේ සත්ව රංචු අතරේ ද වඳ එකකු නො වනු ඇත. 15ස්වාමින්වහන්සේ සියලු රෝග ඔබ වෙතින් දුරුව තබන සේක. ඊජිප්තුවේදී ඔබ දැන සිටි දරුණු රෝග කිසිවක් උන්වහන්සේ ඔබ වෙත පමුණුවන්නේ නැත. එහෙත් ඔබට වෛර කරන සියල්ලන් වෙත උන්වහන්සේ එම රෝග පමුණු වන සේක. 16ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතට හසුකර දෙන සියලු ජනයින් ඔබ විනාශ කර දැමිය යුතු ය. ඔවුනට අනුකම්පාවක් නො දක්වන්න. ඔවුන්ගේ දෙවි දේවතාවුනට සේවය නො කරන්න. මන්ද, එය ඔබට මර උගුලක් වනු ඇති බැවිනි.
17“මේ ජාතීන් අපට වඩා බලවත්: කෙසේ ද අප ඔවුන් පන්නා දමන්නේ?” යි ඔබ සිතිය හැකි ය. 18එහෙත්, ඔවුනට භය නො වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පාරාවෝටත්, මුළු ඊජිප්තුවටත් කළ දේ හොඳට සිහි කරන්න. 19එතැනින් පිටතට ඔබ ගෙන ඒමේදී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පෑ දැඩි පරීක්ෂණ, හාස්කම් ලකුණු හා අරුම පුදුම ද බලගතු හස්තය හා දිගු කළ බාහුව ද ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවහ. ඔබ දැන් බය වන සියලු ජනයින්ටත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ දේ ම කරන සේක. 20එපමණක් ද නො වේ, ඔබෙන් සැඟවී බේරී සිටින්නවුන් පවා විනාශ වී යන තෙක්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් අතරට දෙබරුන් යවන සේක. 21ඔබ මධ්‍යයේ සිටින ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උත්තම, භයංකර දෙවියන්වහන්සේ වන බැවින් ඒ ජාතීනට භය නො වන්න. 22ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ටිකින් ටික ඔබ ඉදිරියෙන් ඒ ජාතීන් පන්නා දමනු ඇත. ඔවුන් සියල්ලන් එක්වර ම නෙරපාලන්නට ඔබට ඉඩ නො ලැබේ. එසේ කළහොත් වන මෘගයින් ඔබ වටා බහුල වනු ඇත. 23එහෙත් ඒ ජාතීන් මුළුමනින් විනාශ වී යන තෙක්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මහත් වියවුලක ඔවුන් හෙළමින්, ඔබේ අතට ඔවුන් හසුකර දෙනු ඇත. 24උන්වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ අතට බාර දුන් කල, ඔබ ඔවුන්ගේ නාම අහස් තලය යටින් අතු ගා දමනු ඇත. ඔබට එරෙහිව නැගී සිටීමට කිසිවකුටත් නො හැකි වෙයි. ඔබ ඔවුන් වනසා දමනු ඇත. 25ඔවුන්ගේ දේවතා පිළිම ගින්නේ පිලිස්සිය යුතු ය. ඒවායේ ඇති රන් රිදීවලට ආශා නො කරන්න. ඒවා ඔබේ ප්‍රයෝජනයට නො ගන්න; ගතහොත් එය ඔබට මර උගුලක් වනු ඇත. මන්ද එය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පිළිකුලකි. 26එවැනි පිළිකුල් දෑ ඔබේ නිවසට නො ගෙනෙන්න. ගෙනාවහොත් ඔබ ද ඒවා හා සමාන ව විනාශයට වෙන් කෙරෙනු ඇත. ඒවා විනාශයට වෙන් කරන ලද දෑ බැවින්, සපුරාම ඒවා පිළිකුල් කරන්න; පිළිකෙව් කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ද්විතීය 7: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න