ද්විතීය 6:1-5

ද්විතීය 6:1-5 SCV

හිමි කර ගන්නට, යොර්දාන් ගඟින් එතෙර ව, ඔබ යන දේශයේදී ඔබ විසින් පිළිපදින පිණිස, ඔබට උගන්වන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මට අණ කළ ආඥා ද නියෝග ද නියමයන් ද මේවා ය. මා ඔබට දෙන, උන්වහන්සේගේ සියලු නියෝග හා ආඥා පිළිපැදිය යුත්තේ, ඔබ ද ඔබගේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ ජීවත් ව සිටින තෙක් භය පක්ෂපාතී වන පිණිසත්, ඔබ දීර්ඝායු භුක්ති විඳින පිණිසත් ය. එම්බා ඉශ්‍රායෙල්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, කිරි හා පැණි ගලා යන දේශයේදී ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ජනගහනය බෙහෙවින් අධික වන පිණිසත්, ඒවාට සවන් දෙන්න; ඒවාට කීකරු වීමට වග බලා ගන්න. එම්බා ඉශ්‍රායෙල් මේ අසනු: ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ ය; එක ම ස්වාමින්වහන්සේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න.