ද්විතීය 31:14-30

ද්විතීය 31:14-30 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඔබේ මරණ මොහොත දැන් ළඟයි. යෝෂුවාත් කැඳවාගෙන, හමුවීමේ කූඩාරමෙහි පෙනී සිටින්න. එහිදී මම ඔහුට වගකීම පවරන්නෙමි” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා යෝෂුවා හමුවීමේ කූඩාරමේ පෙනී සිටියහ. එවිට ස්වාමින්වහන්සේ වලා ටැඹකින් කූඩාරමේදී පෙනුණු සේක්, වලාව කූඩාරම් දොරටුව ඉහළින් නැවතී සිටියේ ය. එකල ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඔබගේ පියවරුන් සමඟ ඔබ සැතපෙනු ඇත. ඉන්පසු මේ ජනයා ඔවුන් ඇතුළු වන දේශයේ දෙවි-දේවතාවුන් සමඟ ඉක්මනින් වේශ්‍යාකම් කරනු ඇත. ඔවුන් මා අත්හැර දමමින්, මා හා කළ ගිවිසුම කඩ කරනු ඇත. ඒ දවසේ මම ඔවුන් හා උරණ වී, ඔවුන් අත්හැර දමමි. මම ඔවුන් වෙතින් මගේ මුහුණ සඟවා ගන්නෙමි. එවිට බොහෝ විපත්ති ද අසීරුතා ද ඔවුන් වෙත පැමිණ, ඔවුන් ගොදුරු කර ගනු ඇත. එවිට ඔවුන් ඒ දවසේ, ‘මේ විපත්ති අප පිට පැමිණියේ, අපේ දෙවියන්වහන්සේ අප සමඟ නො වන බැවින් නො වේ දැ?’ යි අසනු ඇත. සැබවින් ම මම ඒ දවසේ මගේ මුහුණ සඟවා ගන්නේ, වෙනත් දෙවිවරුන් වෙත හැරීමෙන් ඔවුන් කළ සියලු දුෂ්ටකම් නිසා ය. “එබැවින් දැන්, මෙම ගීතය ලියාගෙන, ඉශ්‍රායෙල්වරුනට එය උගන්වන්න. මා වෙනුවෙන් එය ඉශ්‍රායෙල්වරුනට එරෙහි සාක්ෂියක් වන පිණිස, එය ඔවුන්ගේ මුවඟ තබන්න. කිරි හා පැණි ගලා යන දේශයට, ඔවුන්ගේ පියවරුනට දිවුරුමකින් මා පොරොන්දු වූ දේශයට මා ඔවුන් ගෙන ආ කල, ඔවුන් සිත් සේ කා, බී සෑහී, තර වූ පසු, මා ප්‍රතික්ෂේප කරමින්, මගේ ගිවිසුම කඩ කරමින්, වෙනත් දෙවිවරුන් වෙත හැරී, ඔවුනට නමස්කාර කරනු ඇත. විපත්ති හා අසීරුතා බොහෝ සෙයින් ඔවුන් පිට පැමිණි කල, මෙම ගීතය ඔවුන්ට එරෙහිව සාක්ෂි දරනු ඇත. මන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් වෙතින් එය අමතක වී නො යේ. දිවුරුමකින් මා ඔවුන්ට පොරොන්දු වූ දේශයට මා ඔවුන් ගෙන එන්නටත් කලින් පවා ඔවුන් කිරීමට අදහස් කර ගෙන සිටින දෑ මම දනිමි” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් එදින මෙම ගීතිකාව ලියා, ඉශ්‍රායෙල්වරුනට එය ඉගැන්වී ය. ස්වාමින්වහන්සේ නූන්ගේ පුත් යෝෂුවාට මෙසේ අණ දුන් සේක. “ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න. ඉශ්‍රායෙල්වරුනට මා දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන එන්නේ ඔබ ය. මම ම ඔබ සමඟ සිටින්නෙමි” යි පැවසූ සේක. මෝසෙස් මෙම නීති සංග්‍රහයේ වචන මුල සිට අග දක්වා පොතක ලියා අවසන් කළ පසු, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගෙන යන ලෙවීවරුනට මෙසේ අණ දුන්නේ ය. “නීති සංග්‍රහයේ මේ පොත රැගෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව පසෙකින් තැන්පත් කරන්න. එය නුඹලාට එරෙහි සාක්ෂියක් ව තිබෙනු ඇත. මන්ද නුඹලා කෙතරම් කැරලිකාරී ද මුරණ්ඩු ද යන්න මම දනිමි. මා ඔබ අතරේ ජීවත් ව සිටියදී, ස්වාමින්වහන්සේට එරෙහිව නුඹලා කැරලිගසත් නම්, මා මළ පසු කොයි තරම් කැරලි ගසනු ඇද්ද? මෙම වචන ඔවුන්ගේ කනට ඇසෙන්නට පවසන්නටත්, ඔවුනට එරෙහිව සාක්ෂි පිණිස අහස හා පොළොවට හඬ ගසන්නටත්, ඔබේ ගෝත්‍රවල සියලු වැඩිහිටියන් හා ඔබේ සියලු නිලධාරීන් මා ඉදිරියට රැස් කරවන්න. මන්ද මගේ මරණින් පසු, ඔබ මුළුමනින් දූෂ්‍ය වී, මා අණ කළ මාවතින් ඉවත හැරී යන වග මම නිසැකයෙන් ම දනිමි. ඔබේ අත්වල වැඩවලින් ස්වාමින්වහන්සේගේ උදහස අවුළුවමින්, ඔබ උන්වහන්සේගේ ඇස් හමුවෙහි දුෂ්ටකම් කිරීම නිසා මතු දවස්හි දී ඔබ පිටට විපත්ති කඩා වැටෙනු ඇතැ” යි පැවසී ය. ඉන්පසු මෝසෙස් මෙම ගීතයේ වචන මුල සිට අග දක්වා මුළු මහත් ඉශ්‍රායෙල් සභාවට ඇසෙන පරිද්දෙන් හඬ නගා කියවී ය.