ද්විතීය 31:1-8

ද්විතීය 31:1-8 SCV

තවදුරටත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට මෙවදන් පැවසූ මෝසෙස්, ඔවුන් අමතමින්, “දැන් මම එකසිය විසි අවුරුද්දක් වයස් ඇත්තෙමි. තවදුරටත් ඔබට නායකත්වය දරන්නට මට නුපුළුවන. ස්වාමින්වහන්සේ මට පවසා ඇත්තේ, ‘ඔබ මේ යොර්දානෙන් එතෙරට යන්නේ නැත’ කියායි. ඔබේ පෙරමුණ ගෙන, එතෙරට යන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ම ය. ඔබ ඔවුන් පහ කොට, දේශය හිමි කර ගන්න පිණිස උන්වහන්සේ ඔබ ඉදිරිපිටින් මේ ජාතීන් විනාශ කර දමන සේක. ස්වාමින්වහන්සේ පැවසූ පරිදි යෝෂුවා ඔබට පෙරටුවෙන් එතෙරට යන්නේ ය. අමෝරිවරුන්ගේ රජුන් වූ සීහොන් හා ඕග් ද සමඟ ඔවුන්ගේ දේශය ද විනාශ කරමින්, ස්වාමින්වහන්සේ ක්‍රියා කළ ලෙස ම, උන්වහන්සේ මේ ජාතීන්ට ද කරන සේක. ස්වාමින්වහන්සේ ඔවුන් ඔබට යටත් කර දෙනු ඇත. එවිට ඔබ ඔවුනට, මා ඔබට අණ කළ සියල්ල පරිදි කළ යුතු ය. ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න. ඔවුනට භය වන්න එපා; තැති ගන්න එපා. මන්ද ඔබ සමඟ යන්නේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය; උන්වහන්සේ කිසි කලෙක ඔබ හැර යන්නේ නැත; ඔබ අත්හැර දමන්නේ නැතැ” යි පැවසී ය. ඉන්පසු යෝෂුවා කැඳවූ මෝසෙස්, මුළු ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ඔහු අමතමින්, “ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න. මේ ජනතාවගේ ආදි පියවරුනට දෙන්නට ස්වාමින්වහන්සේ දිවුළ දේශයට මොවුන් සමඟ යා යුත්තේ ඔබයි. ඔබ, එය ඔවුන්ට උරුම කොට දිය යුතුයි. ඔබට පෙරටුව යන්නේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේ ඔබ සමඟ ම වන සේක. උන්වහන්සේ කිසි කලෙක ඔබ හැර යන්නේ නැත; ඔබ අත්හැර දමන්නේ නැත. භය වන්න එපා; කැලඹෙන්න එපා” යි පැවසී ය.

ද්විතීය 31:1-8 සඳහා වීඩියෝව

ද්විතීය 31:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය