ද්විතීය 27

27
ඒබාල් කන්දේ පූජාසනය
1මෝසෙස් හා ඉශ්‍රායෙල් වැඩිහිටියෝ ජනතාවට මෙසේ අණ කළෝ ය. “අද මා ඔබට දෙන මේ සම්පූර්ණ ආඥාව පිළිපදින්න. 2ඔබ යොර්දානෙන් එතෙර ව ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට පිවිසි කල, විශාල ගල් සිටුවා, ඒවායේ හුණු බදාම ගාන්න. 3ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය වන කිරි හා පැණි ගලා යන දේශයට ඇතුළු වන්නට යොර්දානෙන් එතෙර වූ කල, මේ නීති පද්ධතියේ සියලු වචන ඒවායේ ලියන්න. 4ඔබ යොර්දානෙන් එතෙර වූ කල, අද මා ඔබට අණ කරන ලෙස මෙම ගල්, ඒබාල් කන්ද මත සිටුවා, හුණු බදාම ගාන්න. 5ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගල් පූජාසනයක් එහි ඉදි කරන්න. ඒ ගල්වලට යකඩ ආයුධයක් නො යොදවන්න. 6ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය නො කැපූ ගලින් තනා, ඒ මත ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට දවන යාග පූජා ඔප්පු කරන්න. 7ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස ප්‍රීති ප්‍රමෝදවෙමින්, එහිදී ශාන්ති පූජා ඔප්පු කොට, ඒවා අනුභව කරන්න. 8ඔබ සිට වූ මෙම ගල් පිට මේ නීති පද්ධතියේ සියලු වචන, ඉතා පැහැදිලි ව ඔබ ලිවිය යුතු යැ” යි පැවසී ය.
ඒබාල් කන්දේ සිට ශාප
9ඉන්පසු මෝසෙස් හා ලෙවීය පූජකයෝ මුළු ඉශ්‍රායෙල් ජනයා අමතමින්, “එම්බා ඉශ්‍රායෙල්, නිහඬ වන්න, සවන් දෙන්න! දැන් ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ජනතාව බවට පත් ව ඇත. 10ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට කීකරු වී, අද මා ඔබට ආඥා කරන උන්වහන්සේගේ ආඥා හා නියෝග පිළිපදින්න.”
11ඒ දවසේ ම මෝසෙස් ජනයාට ආඥා කරමින්, මෙසේ පැවසී ය:
12ඔබ යොර්දානෙන් එතෙර වූ පසු ජනයාට ආශිර්වාද කිරීමට සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාකර්, යෝසෙප් සහ බෙන්යමින් යන ගෝත්‍ර, ගෙරිසීම් කන්ද මත සිට ගනිත්වා. 13තවද, ජනයාට ශාප ප්‍රකාශ කිරීමට රූබෙන්, ගාද්, ආෂෙර්, සාබුලොන්, දාන් හා නෆ්තලී යන ගෝත්‍ර, ඒබාල් කන්ද මත සිට ගනිත්වා.
14ලෙවීවරු සියලු ඉශ්‍රායෙල්වරුනට හඬ නගා, මෙසේ ප්‍රකාශ කරත්වා!
15ස්වාමින්වහන්සේට පිළිකුලක් ද ශිල්පියකුගේ අත්වල වැඩ ද වන නෙළූ පිළිරුවක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා ගන්නා වූත්, රහසින් එය පිහිටුවා ගන්නා වූත් මිනිසාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
16“තම පියාට හෝ තම මවට නිගරු කරන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
17“තම අසල්වැසියාගේ මායිම්ගල වෙනස් කරන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
18“අන්ධයකු පාරේ නොමග යවන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
19“ආගන්තුකයාගෙන් ද පියා නැති අනාථ දරුවාගෙන් ද වැන්දඹුවගෙන් ද යුක්තිය වළක්වාලන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
20“තම පියාගේ බිරිඳ සමඟ සයනය කරන්නා, තම පියාගේ නග්නත්වය නිරාවරණ කරන බැවින් ඔහුට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
21“යම් සතකු සමඟ ලිංගික ක්‍රියාවක යෙදෙන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
22“තම පියාගේ හෝ මවගේ හෝ දියණිය වන තම සහෝදරිය සමඟ සයනය කරන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
23“තම නැන්දම්මා සමඟ සයනය කරන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
24“තම අසල්වැසියා රහසේ මරා දමන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
25“නිදොස් කෙනකු මරා දමන්නට අල්ලස් ගන්නාට ශාප වේ.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.
26“මෙම නීති සංග්‍රහයේ වචන නො පිළිපැදීමෙන්, එය නො පිළිගන්නාට ශාප වේවා.”
එවිට සියලු ජනයා, “ආමෙන්” කියත්වා.

දැනට තෝරාගෙන ඇත:

ද්විතීය 27: SCV

සළකුණු කරන්න

පිටපත් කරන්න

සසඳන්න

බෙදාගන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න