ද්විතීය 11
11
ප්‍රේමය හා අවනත වීම
1ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ නීති ද උන්වහන්සේගේ නියෝග ද උන්වහන්සේගේ නියමයන් හා උන්වහන්සේගේ ආඥා ද හැම විට පිළිපදින්න. 2ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගෙන් වූ හික්මවීම දුටු, ඒවා අත්දුටු ඇත්තන් වන්නේ, ඔබේ දරුවන් නො වන වග අද දවසේ සිහි තබා ගන්න. එනම්, උන්වහන්සේගේ තේජශ්‍රීය, උන්වහන්සේගේ බලගතු හස්තය හා උන්වහන්සේගේ දිගු කළ බාහුව ද 3ඊජිප්තුව මධ්‍යයේ ඊජිප්තු රජු වූ පාරාවෝට හා ඔහුගේ මුළු රටට උන්වහන්සේ පෑ ලකුණු හා උන්වහන්සේ කළ දෑ ද 4ඊජිප්තු හමුදාවට එම අශ්වයින්ට හා යුද්ධ රථවලටත් උන්වහන්සේ කළ දේ, ඔවුන් ඔබ ලුහුබැඳ එද්දී, රතු මුහුදේ ජල කඳ යට ස්වාමින්වහන්සේ ඔවුන් ගිල්වමින්, අද දක්වා පවතින විනාශයක් ඔවුනට පැමිණ වූ අයුරු ද 5ඔබ මෙතැනට ළඟා වන තුරු පාළුකරයේදී ඔබ උදෙසා උන්වහන්සේ කළ දෑ ද දුටුවෝ, ඔබේ දරුවෝ නො වෙති. 6රූබෙන් ගෝත්‍රික එලියාබ්ගේ පුතුන් වූ දාතාන්ට හා අබිරාම්ට උන්වහන්සේ කළ දේ ඔවුන්ගේ ගෘහ වාසීන්, ඔවුන්ගේ කූඩාරම් හා ඔවුන් සතු සියලු සතුන් ද සමඟ ඔවුන් දෙදෙනා මුළු ඉශ්රායෙල් ජනයා මධ්‍යයේ පොළෝ ගැබේ මුව විවර ව, එතුළට ඔවුන් ගිලා බැස්වූ අයුරු දුටුවෝ ඔවුහු නො වෙති. 7ස්වාමින්වහන්සේ සිදු කළ ඒ සියලු විශිෂ්ට ක්‍රියා ඔබේ ම ඇස්වලින් දුටුවෝ, ඔබ ම ය.
8එබැවින් අද දවසේ මා ඔබට දෙන ආඥා සියල්ල පිළිපැදිය යුත්තේ, හිමි කර ගැනීම පිණිස යොර්දානෙන් එතෙර ව, ඔබ යන දේශයට පිවිස, එය අත්කර ගැනීමට ඔබට සවිබල ලැබෙනු පිණිසත්, 9ඔබේ පියවරුනට හා ඔවුන්ගෙන් පැවත එන්නන්ට දීමට ස්වාමින්වහන්සේ ඔවුනට දිවුළ ඒ කිරි හා පැණි ගලා යන දේශයේ ඔබ දිගු කල් ජීවත් වන පිණිසත් ය. 10අත්කර ගැනීමට ඔබ ඇතුළු වන මේ දේශය, ඔබ පිටත් ව ආ ඊජිප්තු දේශය මෙන් නො වේ. බීජ වැපුරූ කල, එහිදී එළවළු පාත්තියකදී මෙන් ජල සැපයුම, පා ආධාරයෙන් කළ යුතු විණි. 11එහෙත් හිමි කර ගැනීමට යොර්දානෙන් එතෙර ව ඔබ යන දේශය, අහස් වැස්ස උරාගන්න කඳු මිටියාවත්වලින් යුත් දේශයකි. 12එය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් රැක බලාගන්නා දේශයකි; අවුරුද්දේ මුල සිට අග දක්වා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් නිරතුරු ඊට යොමු ව ඇත.
13එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද ප්‍රේම කරන ලෙසට හා උන්වහන්සේට සේවය කරන ලෙසට, අද මා ඔබට දෙන ආඥාවලට විශ්වාසී ව ඔබ කීකරු වෙතොත්, 14ඔබේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ හා තෙල් ද රැස් කර ගැනීමට ඔබට හැකි වන සේ, ඔබේ දේශයට මම ශරත් සහ වසන්ත සෘතු වැසි නිසි කල වස්සන්නෙමි. 15ඔබේ ගවයින්ට කෙත් වත්හි තෘණ වැවෙන්නට මම සලසමි. මෙසේ ඔබ සිත් සේ කා, බී සෑහී සිටිනු ඇත.
16පරෙස්සම් වන්න; නැතහොත් ස්වාමින්වහන්සේ වෙතින් අහක් ව ගොස්, වෙනත් දෙවි-දේවතාවුන් නමැද, ඔවුනට වැඳ වැටීමට ඔබ හදවතින් මුළා වනු ඇත. 17එවිට, ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, උන්වහන්සේ වැසි නො වසින පිණිස අහස පියවනු ඇත. එවිට පොළොව එහි අස්වනු නූපද්දනු ඇත. ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙන් ඔබ ඉක්මනින් වැනසී යනු ඇත. 18මගේ මේ වචන ඔබේ හදේත්, ඔබේ සිතේත් නිදන් කර ගන්න. ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. 19නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කරමින් ඔබේ දරුවනට ඒවා උගන්වන්න. 20ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න. 21එවිට, ඔබේ පියවරුනට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ දිවුළ දේශයෙහි ඔබගේත්, ඔබේ දරුවන්ගේත් ආයු කාලය, පොළොවට ඉහළින් වූ අහසේ ආයු කාලය මෙන් දීර්ඝ වන්නේ ය.
22ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීමත්, උන්වහන්සේගේ මාර්ග සියල්ලෙහි ගමන් කිරීමත්, උන්වහන්සේට ඇලුම් ව සිටීමත් රක්ෂා කරන ලෙසට මා ඔබට දෙන මේ ආඥා සියල්ල ඔබ සැලකිල්ලෙන් පිළිපදින්නේ නම්, 23ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් මේ සියලු ජාතීන් පන්නා දමන සේක. එවිට ඔබට වඩා විශාල, ඔබට වඩා බලවත් ජාතීන් ඔබ අත්පත් කර ගන්නවා ඇත. 24ඔබ පා තබන හැම බිම් කොටසක් ම ඔබට වන්නේ ය. ඔබගේ දේශ සීමාව, කාන්තාරයේ සිට ලෙබනොන් දක්වාත්, යුප්‍රටීස් ගංගාවේ සිට බටහිර මුහුද දක්වාත් විහිදේ. 25කිසි මිනිසකුට ඔබට එරෙහිව නැගී සිටිය නො හැකි වනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, ඔබ යන යන තැන, මුළු දේශය පුරා ඔබ ගැන භය හා භීතිය හට ගැනේ.
26මෙන්න, මම අද ඔබ ඉදිරියේ ආශිර්වාදයක් හා ශාපයක් තබමි. 27අද මා ඔබට දෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට කීකරු වුවහොත්, ආශිර්වාදය ය. 28ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට ඔබ අකීකරු වී, ඔබ නො දත් අන් දෙවිවරුන් පසු පස යෑමෙන්, අද මා ඔබට අණ කරන මාර්ගයෙන් ඔබ ඉවත හැරී ගියහොත්, ශාපය ය. 29හිමි කර ගැනීමට ඔබ ඇතුළු වන දේශයට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගෙන ගිය කල, ඔබ ගෙරිසීම් කන්ද මතදී ආශිර්වාදයත්, ඒබාල් කන්ද මතදී ශාපයත් ප්‍රකාශයට පත් කළ යුතු ය. 30ඔබ දන්නා පරිදි මෙම කඳු යොර්දාන් ගඟින් එගොඩ හිරු බස්නා පැත්තේ පාරේ බටහිර දෙසට මෝරේගේ ආලෝන් වෘක්ෂ අසල ගිල්ගාල් අබියස, අරාබාහි වෙසෙන කානානිවරුන්ගේ දේශයේ පිහිටා ඇත. 31ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට පිවිස, එය අත්පත් කර ගන්නට දැන් ඔබ සිටින්නේ, යොර්දාන් ගඟ තරණයට සූදානමිනි. ඔබ එය අත්පත් කර ගෙන එහි පදිංචි වූ කල, 32අද දවසේ ඔබ ඉදිරියේ මා තබන මේ සියලු නියෝග හා නියමයන්වලට කීකරු වන්නට වග බලා ගන්න.
දැනට තෝරාගෙන ඇත:
ද්විතීය 11: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.