ද්විතීය 11:13-21
ද්විතීය 11:13-21 SCV
එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද ප්‍රේම කරන ලෙසට හා උන්වහන්සේට සේවය කරන ලෙසට, අද මා ඔබට දෙන ආඥාවලට විශ්වාසී ව ඔබ කීකරු වෙතොත්, ඔබේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ හා තෙල් ද රැස් කර ගැනීමට ඔබට හැකි වන සේ, ඔබේ දේශයට මම ශරත් සහ වසන්ත සෘතු වැසි නිසි කල වස්සන්නෙමි. ඔබේ ගවයින්ට කෙත් වත්හි තෘණ වැවෙන්නට මම සලසමි. මෙසේ ඔබ සිත් සේ කා, බී සෑහී සිටිනු ඇත. පරෙස්සම් වන්න; නැතහොත් ස්වාමින්වහන්සේ වෙතින් අහක් ව ගොස්, වෙනත් දෙවි-දේවතාවුන් නමැද, ඔවුනට වැඳ වැටීමට ඔබ හදවතින් මුළා වනු ඇත. එවිට, ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, උන්වහන්සේ වැසි නො වසින පිණිස අහස පියවනු ඇත. එවිට පොළොව එහි අස්වනු නූපද්දනු ඇත. ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙන් ඔබ ඉක්මනින් වැනසී යනු ඇත. මගේ මේ වචන ඔබේ හදේත්, ඔබේ සිතේත් නිදන් කර ගන්න. ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කරමින් ඔබේ දරුවනට ඒවා උගන්වන්න. ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න. එවිට, ඔබේ පියවරුනට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ දිවුළ දේශයෙහි ඔබගේත්, ඔබේ දරුවන්ගේත් ආයු කාලය, පොළොවට ඉහළින් වූ අහසේ ආයු කාලය මෙන් දීර්ඝ වන්නේ ය.

