නෙබුකද්නෙසර් රජු වෙතින්,
සියලු ජනයින් ද ජාතීන් ද භාෂාවන් ද යන මුළු පොළොවේ ම වෙසෙන්නන් වෙතයි;
වඩ වඩා ඔබට සෙත් වේවා!
මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා සිදු කළ අනුහස් ලකුණු හා පුදුම පිළිබඳව ඔබට පැවසීම සතුටකි.
උන්වහන්සේගේ ලකුණු, කෙතරම් උතුම් ද!
උන්වහන්සේගේ හාස්කම් කෙතරම් බලවත් ද!
උන්වහන්සේගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි.
උන්වහන්සේගේ ආධිපත්‍යය, පරපුරින් පරපුරට පවතී.
නෙබුකද්නෙසර් වන මම, මගේ මාලිගයේ සැනසී, සඵලවත් ව සිටියෙමි. මා භයගැන් වූ සිහිනයක් මම දැක්කෙමි. මගේ යහනේ මා සැතපී සිටියදී මගේ මනසේ ඇඳුණු රූප හා දර්ශන මා තැති ගැන්වී ය. එබැවින් එම සිහිනයේ අරුත මට පහදා දෙන පිණිස, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් මා ඉදිරියට පමුණු වන ලෙස මම අණ කළෙමි. මෙසේ ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද කල්දිවරුන් ද නක්ෂත්‍රඥයින් ද පැමිණි කල, මම ඔවුනට සිහිනය කීවෙමි. එහෙත් එහි අරුත මට පහදා දීමට ඔවුහු අපොහොසත් වූහ. අන්තිමේදී දානියෙල් මා ඉදිරියට ආවේ ය. මම සිහිනය ඔහුට කීවෙමි. මගේ දෙවියන්ගේ නාමය ලෙස, බේල්ටෙෂසර් නමින් හඳුන්වන ලද මොහු තුළ ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් වෙසෙයි.
මම ඔහු අමතමින්, “ඉන්ද්‍රජාලිකයින්ගේ ප්‍රධානී, බේල්ටෙෂසර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ වැඩ වෙසෙන වගත්, කිසි අභිරහසක් ඔබට අසීරු නො වන වගත් දනිමි. මා දුටු සිහිනයේ දර්ශන මේවායි. එහි අරුත් මට පහදා දෙන්න. මගේ යහනේ මා සැතපී සිටියදී මා දුටු දර්ශන මේවායි: මා බැලූ කල මෙන්න! මා ඉදිරියෙහි පොළොව මැද ගහක්; මහ උස ගහක්. ඒ ගහ විශාල ව වැඩී, ශක්තිමත් ව, එහි මුදුන ස්වර්ගයට ළඟා විණි. පොළොවේ සීමා අන්ත දක්වා ම එය දැකිය හැකි විණි. එහි කොළ අලංකාර විය. පල බහුල විය. සැමට ම ආහාර එහි තිබිණ. වන සත්තු ගහ යට සෙවණ ලදහ. අහස් පක්ෂීහු එහි අතුවල විසූහ. මාංශමය වූ සියල්ලෝ එයින් පෝෂණය ලදහ.
“මගේ යහනේ සැතපී සිටිමින්, මා දුටු දර්ශනවල මා බලා සිටියදී මෙන්න! මා ඉදිරියේ මුරකරුවෙක්; ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනෙක්. උස් හඬ නගා මොර ගැසූ ඔහු, ‘මේ ගහ කපා හෙළනු; එහි අතු රැහැ දමනු; එහි කොළ ගලවා, එහි පල විසුරුවනු; එහි සෙවණ යටින් වන සත්තු ද එහි අතු වෙතින් පක්ෂීහු ද පලා යත්වා! එහෙත් මුල් සහිත කඳ කොටස, යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ පසෙහි ම තියෙන්නට හරිනු.
“ ‘ඔහු අහසේ පින්නෙන් තෙමේවා; ඔහුගේ පංගු කොටස පොළොවේ තෘණ අතරේ වන මෘගයින් සමඟ වේවා. ඔහුගේ මිනිස් මනස වෙනස් කරනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබේවා. මෙසේ කාල හතක් ඔහු සම්බන්ධ ව ගෙවී ගියා වේ.
“ ‘මෙම තීරණය මුරකරුවන් විසින් නිවේදන කරනු ලැබේ. ශුද්ධවතුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ, මානව රාජධානිවලට ඉහළින් මහෝත්තමයාණන් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවරකුට වුව ඒවා දෙන වගත්, මිනිසුන් අතරේ ඉතාම පහත් කෙනකු ඒවාට පත් කරන වග ජීවත් ව සිටින්නන් දැනගන්නා පිණිස යැ’ යි පැවසී ය.
“මෙම සිහිනය නෙබුකද්නෙසර් රජු වන මා දුටු එකයි. එම්බා බේල්ටෙෂසර්, දැන් ඔබ එහි අරුත මට කියා දෙන්න. මන්ද මට මෙහි අරුත පහදා දීමට මගේ රාජ්‍යයේ කිසිදු ප්‍රාඥයකුට පුළුවන් වුණේ නැහැ; එහෙත් ඔබට පුළුවන. මන්ද ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඔබ තුළ ඇතැ” යි පැවසී ය.
බේල්ටෙෂසර් නමින් හැඳින් වූ දානියෙල් මොහොතකට බෙහෙවින් වියවුල් විය. ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. එබැවින් රජු ඔහු අමතමින්, “බෙල්ටෙෂසාර්, ඒ සිහිනයට හෝ එහි අරුතට හෝ ඔබ භය ගන්වන්නට ඉඩ නො දෙන්නැ” යි කීවේ ය.
බේල්ටෙෂසර් පිළිතුරු දෙමින්, “මා ස්වාමිනි, ඒ සිහිනය ඔබේ සතුරන්ටත්, එහි අර්ථය ඔබේ එදිරිවාදීන්ටත් පමණක් අදාළ වූවා නම් යෙහෙකි! විශාල ව වැඩී ශක්තිමත් වූ, එහි මුඳුන ස්වර්ගයට ළඟා වූ මුළු පොළෝ කෙළවරට ම පෙනුණු, ඔබ දුටු ඒ ගහ, අලංකාර කොළත්, බහුල ව වූ පලත් සහිත ව සෑම සියල්ලන්ට ම ආහාර සැපයූ, වන සතුනට සෙවණ දුන්, අහස් පක්ෂීන් එහි අතුවල ජීවත් වූ ගස, අහෝ රජතුමනි, ඒ ඔබයි! ඔබ ශ්‍රේෂ්ඨ ව, බලවත් ව සිටී. ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහස උසට ම ළඟා වෙලා. ඔබගේ ආධිපත්‍යය පොළොවේ දුර බැහැර පෙදෙස් දක්වා ම පැතිර ගිහින්.
“අහෝ රජතුමනි, ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනකු වූ මුරකරුවකු මෙසේ කියනු ඔබ දුටුවා. ‘මේ ගස කපා දමනු; එය විනාශ කරනු. එහෙත් ගස මුල ඉතිරි කඳ කොටස එහි මුල් පසෙහි තිබියදී යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ තිබෙන්නට හරිනු. ඔහු අහසේ පින්නෙන් තෙමේවා! ඔහුගේ පංගු කොටස කාල හතක් පසු වන තෙක් වනයේ වන මෘගයින් අතර ඔහු වෙසේවා!’
“අහෝ රජතුමනි, එහි අරුත මෙයයි: මගේ ස්වාමියා වූ රජුට එරෙහිව මහෝත්තමයාණන් නිකුත් කොට ඇති නියමයයි මේ. මිනිසුන් වෙතින් ඔබ පලවා හරිනු ලැබ, වන මෘගයින් සමඟ ජීවත් වනු ඇත. ගවයකු මෙන් ඔබ තණ කනු ඇත. අහස් පින්නෙන් ඔබ තෙමෙනු ඇත. මහෝත්තමයාණන් මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව ඒවා දෙන වගත් ඔබ ඒත්තු ගන්නා තුරු, කාල හතක් ඔබ එසේ ගත කරනු ඇත. ගසේ කඳ කොටස එහි මුල් සහිත ව තිබෙන්නට හැරීමේ ආඥාවේ අරුත, ස්වර්ගය පාලනය ඔබ ඒත්තු ගත් පසු, ඔබගේ රාජ්‍යයෙහි යළි ඔබ පිහිටුවනු ලබන බවයි.