දානියෙල් 2:36-45

දානියෙල් 2:36-45 SCV

“සිහිනය වූයේ එයයි; දැන් අපි රජුට එහි අරුත පහදා දෙන්නෙමු. අහෝ රජ්ජුරුවනි, ඔබ රජවරුන්ගේත් රජ්ජුරුවොයි; ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඔබට රාජාධිපත්‍යය ද බලය හා පරාක්‍රමය ද තේජස ද දී ඇත. හැම තැනක වෙසෙන මිනිසුන් ද පොළොවේ සතුන් හා අහසේ පක්ෂීන් ද උන්වහන්සේ ඔබේ අත යට තබා, ඒ හැමගේ පාලකයා කොට ඔබ පත් කොට ඇත; රනින් සැදි හිස ඔබයි. “ඔබෙන් පසුව ඔබේ රාජ්‍යයට වඩා බලයෙන් හීන වෙනත් රාජ්‍යයක් නැගිට එනු ඇත. ඉන්පසු ලෝකඩ වැනි තුන් වන රාජ්‍යයක් මේ මුළු පොළෝ තලය ම පාලන කරනු ඇත. අවසානයේදී යකඩ මෙන් සවිමත් සතර වන රාජ්‍යයක් වන්නේ ය. යකඩ, හැම දෙයක් ම සිඳ-බිඳ විසුණු කර දමයි. මෙසේ සියල්ල සුන්බුන් කර දමන යකඩ පරිදි, එම රාජ්‍යය අන් සියල්ල සිඳ-බිඳ සුන් කර දමනු ඇත. ඔබ දුටු පරිදි පා සහ පා-ඇඟිලි කොටසක් කුම්භකරුගේ මැටි හා කොටසක් යකඩ බැවින් මෙය බෙදුණු රාජ්‍යයක් වන්නේ ය. එහෙත් ඔබ දුටු පරිදි මැටි සමඟ යකඩ මිශ්‍ර ව තිබූ හෙයින් යකඩවල වූ කිසියම් ශක්තියක් ඒ තුළ තිබෙනු ඇත. පා-ඇඟිලි කොටසක් යකඩ හා කොටසක් මැටි වූ සේ මෙම රාජ්‍යයේ කොටසක් ශක්තිමත් ද කොටසක් කැඩෙන සුළු ද වන්නේ ය. යකඩ, සෞම්‍ය මැටි සමඟ මිශ්‍ර වනු ඔබ දුටු අයුරු ජනයා ද විවාහයෙන් මිශ්‍ර වනු ඇත. එහෙත් යකඩ හා මැටි මිශ්‍ර ව නො පවතින සේ ඔවුන් එකට බැඳී නො සිටිනු ඇත. “එම රජුගේ කාලයේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසි කලෙක විනාශ කළ නො හැකි රාජ්‍යයක් පිහිටු වන සේක. එම රාජ්‍යය වෙනත් ජනතාවක් අතට පත් වන්නේ නැත. අන් සියලු රාජ්‍යයන් පොඩි පට්ටම් කර, කෙළවර කර දමන එම රාජ්‍යය සදහට ම පවතිනු ඇත. මිනිස් අතින් තොර ව, කන්දකින් කැපී ආ පර්වතයේ අරුත–යකඩ, ලෝකඩ, මැටි, රිදී හා රන් බිඳ දැමූ පර්වතයක දර්ශනයේ අරුත එයයි. “මතු අනාගතයේ සිදුවන දෑ උත්තම දෙවියන්වහන්සේ රජුට පෙන්වා දී ඇත. සිහිනය සැබෑ ය. එහි අර්ථ විවරණයත් විශ්වසනීය යැ” යි කීවේ ය.