දානියෙල් 2:17-30
දානියෙල් 2:17-30 SCV
ඉන්පසු දානියෙල් තම නිවසට ගොස්, තම මිතුරන් වූ හනනියාට ද මිෂායෙල්ට ද අසරියාට ද කරුණු සැල කළේ ය. බබිලෝනියේ සෙසු ප්‍රාඥයින් සමඟ තමා ද තම මිතුරන් වූ ඔවුන් ද මරා දමනු නො ලබන පිණිස, මේ අබිරහස සම්බන්ධයෙන් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පාව යදින ලෙස දානියෙල් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලී ය. එදින රැයේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරවු කෙරිණ. එවිට දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, මෙසේ කීවේ ය: “දෙවියන්වහන්සේගේ නාමයට සදහට ම, සදාතනික ව ප්‍රශංසා වේවා. ප්‍රඥාවත්, බලයත් උන්වහන්සේගේ ය. උන්වහන්සේ කාල හා වකවානු වෙනස් කරන සේක. උන්වහන්සේ රජුන් පත් කරන සේක; රජුන් පහ කර දමන සේක. උන්වහන්සේ පඬිවරුනට ප්‍රඥාවත්, නැණවතුනට දැනගැන්මත් දෙන සේක. උන්වහන්සේ ගැඹුරු හා සැඟවුණු දෑ හෙළි කරන සේක්, අඳුරේ ඇති දෑ දන්නා සේක. ආලෝකය, උන්වහන්සේ සමඟ වාසය කරයි. මගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, මම ඔබට ස්තූතියත්, ප්‍රශංසාවත් දෙන්නෙමි. ප්‍රඥාවත්, බලයත් ඔබ මට දුන් සේක. අප ඔබගෙන් ඉල්ලූ දේ ඔබ මට දැනගන්නට සැලසූ සේක. රජුගේ සිහිනය ඔබ අපට දැනගන්නට සැලසූ සේක.” ඉන්පසු දානියෙල්, අරියොක් වෙත ගියේ ය. බබිලෝනියේ ප්‍රාඥයින් මරා දැමීමට රජු විසින් පත් කරනු ලැබ සිටියේ ඔහු ය. ගොස්, ඔහු ඇමතූ දානියෙල්, “බබිලෝනියේ ප්‍රඥාවන්තයින් මරණයට පත් කරන්න එපා. රජු වෙත මා ගෙන යන්න. මම රජුට ඔහුගේ සිහිනයේ අර්ථය පහදා දෙන්නෙමි” යි කීවේ ය. එකල රජු ඉදිරියට වහා දානියෙල් කැඳවාගෙන ගිය අරියොක්, රජු අමතමින්, “රජතුමාගේ සිහිනයේ අර්ථය පෙන්වා දිය හැකි කෙනකු යූදා රටේ පිටුවහලුන් අතරේ මට හමු වුණා” යි කීවේ ය. බේල්ටෙෂසර් යනුවෙන් හැඳින්වුණු දානියෙල් ඇමතූ රජු, “මගේ සිහිනයේදී මා දුටු දෑ මට කියා, එහි අරුත් පහදා දෙන්නට ඔබට හැකි දැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “රජතුමා අසා ඇති අබිරහස පැහැදිලි කරන්නට සමත් පඬිවරයකු, මන්ත්‍රකරුවකු, ඉන්ද්‍රජාලිකයකු හෝ නක්ෂත්‍රඥයකු නැත. එහෙත්, අබිරහස් එළිදරවු කරන දෙවියන්වහන්සේ කෙනකු ස්වර්ගයෙහි සිටින සේක. මතු දවස්හි සිදු වන්නට යන දේ කවරේදැයි උන්වහන්සේ නෙබුකද්නෙසර් රජුට හෙළි කර ඇත. ඔබේ යහනෙහි ඔබ සැතපී සිටියදී, ඔබේ මනසේ ඇඳුණු ඔබේ සිහිනය හා දර්ශන මෙසේ ය; “අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය.

