දානියෙල් 2:10-18
දානියෙල් 2:10-18 SCV
කල්දිවරු රජුට පිළිතුරු දෙමින්, “රජතුමාගේ අභියෝගය භාරගැනීමට සමත් කිසිවකු මේ දියත නැත. කෙතරම් ශ්‍රේෂ්ඨ, කෙතරම් ප්‍රබල වූවත්, කිසි රජකු ඉන්ද්‍රජාලිකයින්ගෙන්වත්, මන්ත්‍රකරුවන්ගෙන්වත්, කල්දිවරුන්ගෙන්වත් මෙබඳු දෙයක් කිසි කලෙක අසා නැත. රජතුමා අසන දේ ඉතා අසීරු ය. දෙවිවරුන්ට මිස, රජතුමාට එය එළිදරවු කිරීමට කිසිවකුටත් නුපුළුවන. දෙවිවරු මිනිසුන් අතර නො වෙසෙති” යි කීහ. එයින් රජු කෝපයෙන් කොතරම් සැහැසි වී ද යත්, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් විනාශ කර දමන ලෙස නියෝග කළේ ය. එබැවින් ප්‍රාඥයින් මරා දමන ලෙසට ආඥාවක් නිකුත් කෙරිණි. දානියෙල් හා ඔහුගේ මිතුරන් මරා දමනු පිණිස, ඔවුන් සොයන්නට ද මිනිසුන් පිටත් කෙරිණ. රජුගේ ආරක්ෂක ප්‍රධානී, අරියොක් බබිලෝනියේ ප්‍රාඥයින් මරන පිණිස පිටත් ව ගිය කල, දානියෙල් ප්‍රඥාවත් ව හා උපායශීලී ව ඔහුට කතා කළේ ය. රජුගේ ප්‍රධාන නිලධාරී වන අරියොක් ඇමතූ ඔහු, “රජතුමා මෙතරම් දැඩි ආඥාවක් නිකුත් කළේ මන්දැ?” යි ඇසී ය. එවිට අරියොක්, දානියෙල්ට කාරණය විස්තර කළේ ය. එකල දානියෙල් රජු වෙත ගොස්, සිහිනේ අර්ථය රජුට පහදා දෙන පිණිස කල් ඉල්ලුවේ ය. ඉන්පසු දානියෙල් තම නිවසට ගොස්, තම මිතුරන් වූ හනනියාට ද මිෂායෙල්ට ද අසරියාට ද කරුණු සැල කළේ ය. බබිලෝනියේ සෙසු ප්‍රාඥයින් සමඟ තමා ද තම මිතුරන් වූ ඔවුන් ද මරා දමනු නො ලබන පිණිස, මේ අබිරහස සම්බන්ධයෙන් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පාව යදින ලෙස දානියෙල් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලී ය.

