දානියෙල් 2:1-18

දානියෙල් 2:1-18 SCV

නෙබුකද්නෙසර්ගේ රාජ්‍ය සමයේ, දෙවන වසරේ නෙබුකද්නෙසර් සිහින දුටුවේ ය. ඔහුගේ සිත කැලඹිණි. ඔහුගේ නින්ද ඔහු හැර ගියේ ය. එබැවින් රජු, තමා දුටු සිහින කවරේදැයි තමාට කියා දෙන පිණිස, ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද අනවිනකරුවන් හා කල්දිවරුන් ද කැඳවීමට නියෝග කළේ ය. එබැවින් ඔවුන් අවුත්, රජු අබියස සිටගත් කල, රජ ඔවුන් අමතමින්, “මට සිහිනයක් පෙනුණා. ඒ සිහිනය දැනගැනීමට මගේ ආත්මය කැලඹිලා” යි කීවේ ය. එවිට අරාම් බසින් රජු ඇමතූ කල්දිවරු, “සැම කල් දිනේවා අහෝ රජතුමනි! ඔබේ සේවකයින්ට සිහිනය පවසන්න. එවිට අපි එහි අරුත කියා දෙන්නෙමු” යි කීවෝ ය. රජු කල්දිවරුන්ට පිළිතුරු දෙමින්, “නියතයෙන් ම මගේ වචනය ස්ථිරයි. මගේ සිහිනය කුමක් ද යන්නත්, එහි තේරුම කුමක් ද යන්නත් නුඹලා මට නො කීවොත් අවයවයෙන් අවයවය නුඹලාගෙන් ඉරා දමනු ලැබේ. නුඹලාගේ නිවෙස් ද සුන්බුන් ගොඩවල් බවට පත් කෙරේ. එහෙත් නුඹලා මට සිහිනය පවසා, එය පහදා දුනහොත් නුඹලාට මගේ ත්‍යාග ද පාරිතෝෂ ද ඉමහත් ගෞරවයක් ද ලැබේ. එබැවින් දැන් සිහිනය මට පවසා, එහි අරුත් පහදා දෙනු” යි පැවසී ය. ඔවුහු දෙවන වරටත් රජුට පිළිතුරු දෙමින්, “රජතුමා තම සේවකයිනට සිහිනය පවසත්වා! එවිට අපි එහි අර්ථය පහදා දෙන්නෙමු” යි කීහ. රජු උත්තර දෙමින්, “නුඹලා කල් ගැනීමට උත්සාහ දරන බැව් නිසැකයෙන් ම මම දනිමි. මන්ද මගේ වචනය ස්ථිර වග නුඹලාට පෙනේ. නුඹලා මට සිහිනය නො කීවොත් නුඹලාට ඇත්තේ එක ම නියමයක් පමණි. තත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තුව මා ඉදිරියේ බොරු කතා හා රැවටිලිකාර වචන කියන්නට නුඹලා එකඟ වෙලා. එබැවින් මට සිහිනය කියනු; එවිට එහි අර්ථය දැක්වීමට නුඹලා සමත් වග මට දැනගත හැකි” යි කීවේ ය. කල්දිවරු රජුට පිළිතුරු දෙමින්, “රජතුමාගේ අභියෝගය භාරගැනීමට සමත් කිසිවකු මේ දියත නැත. කෙතරම් ශ්‍රේෂ්ඨ, කෙතරම් ප්‍රබල වූවත්, කිසි රජකු ඉන්ද්‍රජාලිකයින්ගෙන්වත්, මන්ත්‍රකරුවන්ගෙන්වත්, කල්දිවරුන්ගෙන්වත් මෙබඳු දෙයක් කිසි කලෙක අසා නැත. රජතුමා අසන දේ ඉතා අසීරු ය. දෙවිවරුන්ට මිස, රජතුමාට එය එළිදරවු කිරීමට කිසිවකුටත් නුපුළුවන. දෙවිවරු මිනිසුන් අතර නො වෙසෙති” යි කීහ. එයින් රජු කෝපයෙන් කොතරම් සැහැසි වී ද යත්, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් විනාශ කර දමන ලෙස නියෝග කළේ ය. එබැවින් ප්‍රාඥයින් මරා දමන ලෙසට ආඥාවක් නිකුත් කෙරිණි. දානියෙල් හා ඔහුගේ මිතුරන් මරා දමනු පිණිස, ඔවුන් සොයන්නට ද මිනිසුන් පිටත් කෙරිණ. රජුගේ ආරක්ෂක ප්‍රධානී, අරියොක් බබිලෝනියේ ප්‍රාඥයින් මරන පිණිස පිටත් ව ගිය කල, දානියෙල් ප්‍රඥාවත් ව හා උපායශීලී ව ඔහුට කතා කළේ ය. රජුගේ ප්‍රධාන නිලධාරී වන අරියොක් ඇමතූ ඔහු, “රජතුමා මෙතරම් දැඩි ආඥාවක් නිකුත් කළේ මන්දැ?” යි ඇසී ය. එවිට අරියොක්, දානියෙල්ට කාරණය විස්තර කළේ ය. එකල දානියෙල් රජු වෙත ගොස්, සිහිනේ අර්ථය රජුට පහදා දෙන පිණිස කල් ඉල්ලුවේ ය. ඉන්පසු දානියෙල් තම නිවසට ගොස්, තම මිතුරන් වූ හනනියාට ද මිෂායෙල්ට ද අසරියාට ද කරුණු සැල කළේ ය. බබිලෝනියේ සෙසු ප්‍රාඥයින් සමඟ තමා ද තම මිතුරන් වූ ඔවුන් ද මරා දමනු නො ලබන පිණිස, මේ අබිරහස සම්බන්ධයෙන් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පාව යදින ලෙස දානියෙල් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලී ය.