ආමෝස් 5:18-27
ආමෝස් 5:18-27 SCV
ස්වාමින්වහන්සේගේ දවස ගැන දැඩි ආශාවෙන් සිටින අයට දුක් වේ! ඔබ ස්වාමින්වහන්සේගේ දවස බලා සිටින්නේ ඇයි? එය අන්ධකාරය ය. ආලෝකය නො වේ. ඒ දවස, සිංහයකුගෙන් බේරෙන්නට දුවන මිනිසාට වලසකු හමුවන්නා වැනි ය. තම නිවසට පිවිසෙන මිනිසා ගෙදර බිත්තියට අත තැබූ කල, සර්පයකු දෂ්ට කරන්නා වැනි ය. ස්වාමින්වහන්සේගේ දවස අන්ධකාරය ම නො වන්නේ ද? එය ආලෝකය නො වේ. එක් බිඳකුදු දීප්තියක් නැති කළුවර ම ය. “නුඹලාගේ ආගමික මංගල්‍යවලට මම ද්වේෂ කරමි; ඒවා නීච කොට සලකමි. නුඹලාගේ එක් රැස්වීම් මට රුස්සන්නේ නැත. ඔබ මට දවන යාග පූජා ගෙනෙතත්, ධාන්‍ය පූජා ගෙනෙතත්, මම ඒවා නො පිළිගන්නෙමි. ශාන්ති පූජා සඳහා තර කළ සතුන් ගෙනෙතත්, මම ඒ දෙසවත් නො බලමි. ඔබේ ගීත කරච්චලය නවත්වන්න. ඔබේ වීණා සංගීතයට මම සවන් නො දෙන්නෙමි. එහෙත් යුක්තිය ගංගාවක් සේ ද දමිටුකම සදා නො සිඳෙන දිය දහරක් සේ ද ගලා යේවා! “පුරා හතළිස් වසරක් පාළුකරයේදී නුඹලා මා වෙත යාග හා පූජා ගෙන ආවා ද, එම්බා ඉශ්‍රායෙල් වංශිකයිනි? නුඹලා, නුඹලාගේ රජුන්ගේ ධාතුකරඬු ද නුඹලා උදෙසා නුඹලා ම තනා ගත් නුඹලාගේ දේව පිළිමත්, නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් ඔසවා ගත්තහු ය. එබැවින්, මම දමස්කය පුරයෙනුත් එපිටට නුඹලා රටින් පිට මං කර දමන්නෙමි” යි සේනාංකවල දෙවියන්වහන්සේ යන නාමය ඇති ස්වාමින්වහන්සේ පවසන සේක.

