ක්‍රියා 1

1
යේසුස්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබීම
1තියෝපිලස් මැතිතුමනි, මගේ පළමු ලියවිල්ලේ මා ලියුවේ, යේසුස්වහන්සේ සිදු කළ හා ඉගැන් වූ සියල්ල වූ උන්වහන්සේ සේවය ඇරඹූ දා පටන්, 2ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා සිදුවීම් ය. ඔසවා ගනු ලැබීමට පෙර, උන්වහන්සේ තමන් තෝරාගත් අපෝස්තුලුවරුනට ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් අණ දුන් සේක. 3තම වධ විඳීමෙන් පසු, තමන් ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත් ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක් වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතර තුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක. 4උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී#1:4 නැතහොත් ඔවුන් සමඟ ආහාර ගනිමින් සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත් ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න. 5මන්ද යොහන් මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් මෙතැන් සිට තව නොබෝ දිනකින් ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම ලබනු ඇතැ” යි පැවසූ සේක.
6මෙසේ ඔවුන් එක් රැස් වූ විටෙක ඔවුහු, “ස්වාමිනි, ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටු වන කාලය මෙය දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.
7උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “පියාණන්වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාල හා වකවානු ඔබේ දැනගැනීම පිණිස නො වේ. 8එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ පිට පැමිණි කල, ඔබ බලය ලබනු ඇත. එවිට ඔබ, යෙරුසලමේ ද මුළු යුදයෙහි හා සමාරියේ ද පොළොවේ සීමාන්තය දක්වා ද මගේ සාක්ෂිකරුවන් වනු ඇතැ” යි පැවසූ සේක.
9උන්වහන්සේ මෙසේ පැවසූ පසු, ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදී ම, උන්වහන්සේ ඔසවා ගනු ලැබ, වලාකුළක් ඔවුන්ගේ දැකුමෙන් උන්වහන්සේ ඉවත් කළේ ය.
10උන්වහන්සේගේ නැගී යෑම ගැන ඔවුන් ස්වර්ගය දෙස නෙත් දල්වා සිටියදී, මෙන්න! සුදු වතින් සැරසුණු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන, 11ඔවුන් අමතමින්, “ගලීල මනුෂ්‍යයිනි, ඔබ මෙතැන සිටගෙන ස්වර්ගය දෙස බලා සිටින්නේ කුමට ද? ඔබ වෙතින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මෙම යේසුස්වහන්සේ, ස්වර්ගයට නැගෙනු ඔබ දුටු අයුරින් ම, ආපසු එනු ඇතැ” යි කීහ.
මත්තියස් තෝරා ගැනීම
12ඉන්පසු ඔවුහු, යෙරුසලමට නුදුරින් සබත් දවසක ගමන් දුරකින්#1:12 එනම් කිලෝ මීටරයක් පමණ වූ ඔලීව නම් කන්දේ සිට යෙරුසලමට ආපසු ගියහ. 13පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැගුණහ. ඔවුහු නම්:
පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ;
පිලිප් හා තෝමස්;
බර්තොලමෙව් හා මතෙව්;
අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා#1:13 එවකට තිබූ අන්තවාදී සංවිධානයක සාමාජිකයෙක් යන අරුත ද තිබිය හැක. වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය.
14මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස් ව, එක්සිත් ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.
15එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්, 16“සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මග පෙන් වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ව තිබුණි. 17ඔහුත් අප සමඟ ගණන් ගනු ලැබ, මෙම සේවයේ තමාගේ කොටස ලැබී ය.”
18(මේ මිනිසා තම දුෂ්ටකමේ ත්‍යාගයෙන් ඉඩමක් මිලට ගත්තේ ය. ඔහු දරුණු ලෙස වැටී, මැදින් පැළී ගියෙන්, ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. 19යෙරුසලම් වැසි සියල්ලන් මෙය දැන ගත්තෙන්, ඔවුහු එම ඉඩම ඔවුන්ගේ භාෂාවෙන් ලේ බිම යන අරුතින් අකෙල්දමා යනුවෙන් හැඳින් වූහ.)
20“මන්ද, ගීතාවලිය පොතේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේ ය:
“ ‘ඔහුගේ වාසස්ථානය පාළුවට ඇරේවා;
එහි වාසයට කිසිවකු නො සිටීවා,’#1:20 ගීතා 69;25
හා
“ ‘ඔහුගේ තනතුර වෙනකකු ගනිත්වා.’#1:20 ගීතා 109;8
21එබැවින්, යේසුස් ස්වාමින්වහන්සේ අප අතරේ ආ-ගිය මුළු කාලය තුළ අප හා සිටි මිනිසුන්ගෙන් කෙනකු, 22යොහන්ගේ බව්තීස්මයෙන් පටන් ගෙන, උන්වහන්සේ අප වෙතින් ඔසවා ගනු ලැබූ දවස දක්වා අප හා සිටි මේ අයගෙන් කෙනකු, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකරුවකු විය යුතු යැ” යි පැවසී ය.
23ඔවුහු ඒ සඳහා දෙදෙනකු යෝජනා කළහ. ඒ යුස්තස් නමින් ද හැඳින්වුණු බර්සබස් නම් ලත් යෝසෙප් හා මත්තියස් ය. 24ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව. 25යූදස් විසින් තමන්ට හිමි ස්ථානයට යන පිණිස, හැර දමා යන ලද අපෝස්තලික තනතුරට සුදුස්සා පෙන්වා දුන මැනව” යි පවසා, 26ඔවුන් උදෙසා පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ මත්තියස්ට ය. එබැවින් ඔහු ද අපෝස්තුලුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන් ගන්නා ලද්දේ ය.

දැනට තෝරාගෙන ඇත:

ක්‍රියා 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න