ක්‍රියා 1:12-26
ක්‍රියා 1:12-26 SCV
ඉන්පසු ඔවුහු, යෙරුසලමට නුදුරින් සබත් දවසක ගමන් දුරකින් වූ ඔලීව නම් කන්දේ සිට යෙරුසලමට ආපසු ගියහ. පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැගුණහ. ඔවුහු නම්: පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ; පිලිප් හා තෝමස්; බර්තොලමෙව් හා මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය. මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස් ව, එක්සිත් ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ. එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්, “සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මග පෙන් වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ව තිබුණි. ඔහුත් අප සමඟ ගණන් ගනු ලැබ, මෙම සේවයේ තමාගේ කොටස ලැබී ය.” (මේ මිනිසා තම දුෂ්ටකමේ ත්‍යාගයෙන් ඉඩමක් මිලට ගත්තේ ය. ඔහු දරුණු ලෙස වැටී, මැදින් පැළී ගියෙන්, ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. යෙරුසලම් වැසි සියල්ලන් මෙය දැන ගත්තෙන්, ඔවුහු එම ඉඩම ඔවුන්ගේ භාෂාවෙන් ලේ බිම යන අරුතින් අකෙල්දමා යනුවෙන් හැඳින් වූහ.) “මන්ද, ගීතාවලිය පොතේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේ ය: “ ‘ඔහුගේ වාසස්ථානය පාළුවට ඇරේවා; එහි වාසයට කිසිවකු නො සිටීවා,’ හා “ ‘ඔහුගේ තනතුර වෙනකකු ගනිත්වා.’ එබැවින්, යේසුස් ස්වාමින්වහන්සේ අප අතරේ ආ-ගිය මුළු කාලය තුළ අප හා සිටි මිනිසුන්ගෙන් කෙනකු, යොහන්ගේ බව්තීස්මයෙන් පටන් ගෙන, උන්වහන්සේ අප වෙතින් ඔසවා ගනු ලැබූ දවස දක්වා අප හා සිටි මේ අයගෙන් කෙනකු, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකරුවකු විය යුතු යැ” යි පැවසී ය. ඔවුහු ඒ සඳහා දෙදෙනකු යෝජනා කළහ. ඒ යුස්තස් නමින් ද හැඳින්වුණු බර්සබස් නම් ලත් යෝසෙප් හා මත්තියස් ය. ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව. යූදස් විසින් තමන්ට හිමි ස්ථානයට යන පිණිස, හැර දමා යන ලද අපෝස්තලික තනතුරට සුදුස්සා පෙන්වා දුන මැනව” යි පවසා, ඔවුන් උදෙසා පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ මත්තියස්ට ය. එබැවින් ඔහු ද අපෝස්තුලුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන් ගන්නා ලද්දේ ය.

