ක්‍රියා 1:1-12

ක්‍රියා 1:1-12 SCV

තියෝපිලස් මැතිතුමනි, මගේ පළමු ලියවිල්ලේ මා ලියුවේ, යේසුස්වහන්සේ සිදු කළ හා ඉගැන් වූ සියල්ල වූ උන්වහන්සේ සේවය ඇරඹූ දා පටන්, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා සිදුවීම් ය. ඔසවා ගනු ලැබීමට පෙර, උන්වහන්සේ තමන් තෝරාගත් අපෝස්තුලුවරුනට ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් අණ දුන් සේක. තම වධ විඳීමෙන් පසු, තමන් ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත් ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක් වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතර තුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක. උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත් ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න. මන්ද යොහන් මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් මෙතැන් සිට තව නොබෝ දිනකින් ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම ලබනු ඇතැ” යි පැවසූ සේක. මෙසේ ඔවුන් එක් රැස් වූ විටෙක ඔවුහු, “ස්වාමිනි, ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටු වන කාලය මෙය දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “පියාණන්වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාල හා වකවානු ඔබේ දැනගැනීම පිණිස නො වේ. එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ පිට පැමිණි කල, ඔබ බලය ලබනු ඇත. එවිට ඔබ, යෙරුසලමේ ද මුළු යුදයෙහි හා සමාරියේ ද පොළොවේ සීමාන්තය දක්වා ද මගේ සාක්ෂිකරුවන් වනු ඇතැ” යි පැවසූ සේක. උන්වහන්සේ මෙසේ පැවසූ පසු, ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදී ම, උන්වහන්සේ ඔසවා ගනු ලැබ, වලාකුළක් ඔවුන්ගේ දැකුමෙන් උන්වහන්සේ ඉවත් කළේ ය. උන්වහන්සේගේ නැගී යෑම ගැන ඔවුන් ස්වර්ගය දෙස නෙත් දල්වා සිටියදී, මෙන්න! සුදු වතින් සැරසුණු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන, ඔවුන් අමතමින්, “ගලීල මනුෂ්‍යයිනි, ඔබ මෙතැන සිටගෙන ස්වර්ගය දෙස බලා සිටින්නේ කුමට ද? ඔබ වෙතින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මෙම යේසුස්වහන්සේ, ස්වර්ගයට නැගෙනු ඔබ දුටු අයුරින් ම, ආපසු එනු ඇතැ” යි කීහ. ඉන්පසු ඔවුහු, යෙරුසලමට නුදුරින් සබත් දවසක ගමන් දුරකින් වූ ඔලීව නම් කන්දේ සිට යෙරුසලමට ආපසු ගියහ.