2 තිමෝති 3

3
1එහෙත් මෙය සිතට ගන්න; අවසාන දවස්හි අමාරු කාල පැමිණෙනු ඇත. 2තමන්ට ම ප්‍රේම කරන්නන් ව, මුදලට ප්‍රේම කරන්නන් ව, අහංකාරීන් ව, උඩඟුවූවන් ව, අවලාද නගන්නන් ව, තම මාපියනට අකීකරු වන්නන් ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන් ව, 3හිතක්-පපුවක් නැත්තන් ව, සෑහීමට නො පැමිණෙන්නන් ව, අපවාද නගන්නන් ව, අසංවර ව, කෘෘරයින් ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන් ව, 4ද්‍රෝහීන් ව, නො සැලකිලිමත්වූවන් ව, මානයෙන් උදම්වූවන් ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන් ව, 5පිටස්තරින් දේව භක්තික ස්වරූපය ඇතත් එහි බලය ප්‍රතික්ෂේප කරන්නන් ව සිටින ජනයාගෙන් ඈත් වන්න.
6ඔවුන්ගෙන් ඇතැම්හු, අනුන්ගේ ගෙවලට රිංගා, ලාමක ස්ත්‍රීන් වන පව් බරින් මිරිකී, නොයෙකුත් තෘෂ්ණාවන්ට වසඟ ව සිටින, 7හැම විට ම ඉගෙන ගන්නා නමුත්, කිසි විටෙක සත්‍ය දැනගැන්මට නො එන ස්ත්‍රීන් අල්ලා ගන්නෝ වෙති. 8යන්නෙස් හා යම්බ්‍රෙස් මෝසෙස්ට එරෙහිව වූ ලෙස මොවුහු ද සත්‍යයට එරෙහි වූ, දූෂිත මනසින් යුත්, ඇදහීම සම්බන්ධයෙන් නුසුදුස්සන් වූහ. 9එහෙත් මොවුන් වැඩිදුර යන්නේ නැත. මන්ද පෙර කී මිනිසුන් දෙදෙනාට වූ ලෙස ම මොවුන්ගේ අඥානකම හැමට ම පැහැදිලි වනු ඇත.
අවසන් අවවාද
10කෙසේ වෙතත් ඔබ, මා ගැන දනී; එනම්, මගේ ඉගැන්වීම, මගේ කල් ක්‍රියාව, මගේ ජීවන අරමුණු, මගේ ඇදහිල්ල, මගේ ඉවසීම, මගේ ප්‍රේමය හා මගේ ස්ථිරත්වය ද 11මා විඳ දරාගත් වධ විඳීම්, එනම් අන්තියෝකියේදී, ඉකෝනියෙහි දී හා ලුස්ත්‍රාවෙහි දී මට සිදු වූ මා විඳ දැරූ වධ හා වේදනා ද යන දෑ ය. එහෙත් ස්වාමින්වහන්සේ ඒ සියල්ලෙන් මා මිදූ සේක. 12ඇත්තෙන් ම, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේව භක්තික ජීවිතයක් ගත කරන්නට ආශා කරන හැම කෙනකුට ම පීඩා ලැබේ. 13ඒ අතර දුෂ්ටයින් හා වංචනිකයින් රවටමින් ද රැවටෙමින් ද සිටියාටත් වඩා නරකින් නරකට පත් වේ. 14එහෙත් ඔබ, ඔබ උගත් දෑ හා ඔබ අචල ව විශ්වාස කළ දෑ දිගට ම පවත්වන්න. ඔබ ඒවා උගත්තේ කවුරුන්ගෙන් ද යන්නත්, 15ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහීම තුළින් ගැලවීම සඳහා ඔබ නැණවත් කිරීමෙහි පොහොසත් ශුද්ධ ලියවිලි ළමා අවදියේ පටන් ම දැන උගත් අයුරුත් ඔබ දනී. 16ශුද්ධ ලියවිලි සියල්ල දෙවියන්වහන්සේගේ ආනුභාව ලද බැවින් ඉගැන්වීමටත්, තරවටුවටත්, නිවැරදි කිරීමටත්, ධර්මිෂ්ඨකමේ පුහුණුවටත් ප්‍රයෝජනවත් ය. 17ඒ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හැම හොඳ වැඩකට ම පුහුණුව හා සන්නද්ධ ව සිටිනු පිණිස ය.

දැනට තෝරාගෙන ඇත:

2 තිමෝති 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න