2 තිමෝති 3:1-9

2 තිමෝති 3:1-9 SCV

එහෙත් මෙය සිතට ගන්න; අවසාන දවස්හි අමාරු කාල පැමිණෙනු ඇත. තමන්ට ම ප්‍රේම කරන්නන් ව, මුදලට ප්‍රේම කරන්නන් ව, අහංකාරීන් ව, උඩඟුවූවන් ව, අවලාද නගන්නන් ව, තම මාපියනට අකීකරු වන්නන් ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන් ව, හිතක්-පපුවක් නැත්තන් ව, සෑහීමට නො පැමිණෙන්නන් ව, අපවාද නගන්නන් ව, අසංවර ව, කෘෘරයින් ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන් ව, ද්‍රෝහීන් ව, නො සැලකිලිමත්වූවන් ව, මානයෙන් උදම්වූවන් ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන් ව, පිටස්තරින් දේව භක්තික ස්වරූපය ඇතත් එහි බලය ප්‍රතික්ෂේප කරන්නන් ව සිටින ජනයාගෙන් ඈත් වන්න. ඔවුන්ගෙන් ඇතැම්හු, අනුන්ගේ ගෙවලට රිංගා, ලාමක ස්ත්‍රීන් වන පව් බරින් මිරිකී, නොයෙකුත් තෘෂ්ණාවන්ට වසඟ ව සිටින, හැම විට ම ඉගෙන ගන්නා නමුත්, කිසි විටෙක සත්‍ය දැනගැන්මට නො එන ස්ත්‍රීන් අල්ලා ගන්නෝ වෙති. යන්නෙස් හා යම්බ්‍රෙස් මෝසෙස්ට එරෙහිව වූ ලෙස මොවුහු ද සත්‍යයට එරෙහි වූ, දූෂිත මනසින් යුත්, ඇදහීම සම්බන්ධයෙන් නුසුදුස්සන් වූහ. එහෙත් මොවුන් වැඩිදුර යන්නේ නැත. මන්ද පෙර කී මිනිසුන් දෙදෙනාට වූ ලෙස ම මොවුන්ගේ අඥානකම හැමට ම පැහැදිලි වනු ඇත.

මෙයට අදාළ වීඩියෝ