2 සාමුවෙල් 8:1-18

2 සාමුවෙල් 8:1-18 SCV

මෙයින් පසු දාවිත් පිලිස්තිවරුන් පරදා, ඔවුන් යටත් කොට, මෙතෙග්-අම්මා පෙදෙස පිලිස්තිවරුන්ගේ පාලනයෙන් තමා යටතට ගත්තේ ය. දාවිත්, මෝවබ්වරුන් ද පැරදවී ය. ඔහු ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා, ලණු පොටකින් ඔවුන් මැන්නේ ය. එයින් මිමි දෙකක් මරා දමන පිණිස ය. එක් සම්පූර්ණ මිම්මක් ජීවිත දානයට ය. මෙසේ මෝවබ්වරු ඔහුගේ යටත්වාසීන් බවට පත් වී, ඔහුට කප්පන් ගෙවූහ. තවද රෙහොබ්ගේ පුත්‍ර, සෝබාහි රජු වූ හදද්එසෙර්, යුප්‍රටීස් ගංගාව ළඟ තම පාලනය යළි පිහිටුවීමට යද්දී, දාවිත් ඔහුට පහර දුන්නේ ය. දාවිත්, ඔහුගේ අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙබළුන් විසිදහසක් ද අල්ලා ගත්තේ ය. රථ-අශ්වයින් සියයක් පමණක් ඉතිරි කර ගත් ඔහු සෙස්සනගේ කලවා-නහරය කපා දැමී ය. දමස්කයේ අරාම්වරුන්, සෝබාහි රජු වූ හදද්එසෙර්ගේ සහායට පැමිණි කල, දාවිත් අරාම්වරුන්ගෙන් විසිදෙදහසක් ගසා හෙළී ය. දාවිත්, දමස්කයේ අරාම් මධ්‍යයේ බළ සේනා සිටුවී ය. අරාම්වරු ඔහුගේ යටත්වාසීන් වී, ඔහුට කප්පන් ගෙවූහ. දාවිත් ගිය ගිය තැන ස්වාමින්වහන්සේ ඔහුට ජය ගෙන දුන් සේක. හදද්එසෙර්ගේ සේවකයින් විසින් දරන ලද රන් පලිස් ගත් දාවිත්, ඒවා යෙරුසලමට රැගෙන ආවේ ය. හදද්එසෙර්ට අයත් නගර වූ බෙටා හා බේරොතායි වෙතින් දාවිත් රජු, ලෝකඩ මහා ප්‍රමාණයක් ගත්තේ ය. දාවිත්, හදද්එසෙර්ගේ මුළු හමුදාව පරාජය කර ඇති වග, හමාත්හි රජු වූ තොයීට අසන්නට ලැබිණ. එකල තොයී තම පුත් යෝරාම්, හදද්එසෙර් හා සටනේදී ලද ජය පිළිබඳ දාවිත්ට ආචාර කරන්නට හා සුබ පතන්නට දාවිත් රජු වෙත ඔහු යැවී ය. මන්ද හදද්එසෙර් හා තොයී අතර යුද්ධ පැවතිණි. යෝරාම් තමා සමඟ රිදී, රන් හා ලෝකඩ භාණ්ඩ ගෙන ගියේ ය. දාවිත් රජු එම භාණ්ඩ සියල්ල තමා විසින් යටත් කළ සියලු ජාතීන්ගෙන් ගත් රිදී හා රන් සමඟ ස්වාමින්වහන්සේට කැප කළේ ය. ඒවා ගන්නා ලද්දේ ඒදොම්, මෝවබ්, අම්මොන්වරුන්, පිලිස්තිවරුන් හා අමලෙක් වෙතිනි. රෙහොබ්ගේ පුත්‍ර සෝබාහි රජු වූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලය ද ඔහු කැප කළේ ය. ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළා, ආපසු පැමිණි කල, දාවිත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය; ඒදොම් මුළුල්ලේ ඔහු ආරක්ෂක සේනාංක රැඳ වූ අතර සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක. දාවිත් සමස්ත ඉශ්‍රායෙලයට ම රජකම් කළේ ය. දාවිත් තමන්ගේ මුළු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය එක ලෙස ඉටු කළේ ය. සෙරූයාගේ පුත් යෝවාබ් හමුදාපති ව සිටියේ ය. අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ව සිටියේ ය. අහිටූබ්ගේ පුත් සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයින් ව සිටියහ; සෙරායා ලේකම් ව සිටියේ ය. යෙහෝයාදාගේ පුත් බෙනායා කෙරේතිවරුන්ගේ හා පෙලේතිවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්තු පූජකයින් ව සිටියහ.