2 සාමුවෙල් 6:14-23

2 සාමුවෙල් 6:14-23 SCV

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය. මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ජය ගොස නගමින්, හොරණෑ නද සමඟින් ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ඇතුළු වෙද්දී, සාවුල්ගේ දියණිය මීකල් කවුළුවකින් පිටත බලා සිටියා ය. දාවිත් රජු ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැන පැන නටනු දුටු ඈ තම හදින් ඔහු හෙළා දැක්කා ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙනවුත්, ඒ සඳහා දාවිත් විසින් පිහිටු වන ලද කූඩාරමෙහි ඊට නිසි තැන තැන්පත් කළහ. දාවිත් දවන යාග පූජා හා ශාන්ති පූජා ස්වාමින්වහන්සේ අබියස ඔප්පු කළේ ය. දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කිරීම නිම කළ දාවිත්, සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් ජනතාවට ආශිර්වාද කළේ ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් මුළු සමූහයාට, පුරුෂයින් හා ස්ත්‍රීන් හැම කෙනකුට රොටියක්, මස් කොටසක් හා වියළි මිදි කැටියක් බැගින් බෙදා දුන්නේ ය. ඉන්පසු සියල්ලෝ ම පිටත් ව, එකිනෙකා තම තමන්ගේ ගෙවලට ගියහ. දාවිත් තම නිවැසියනට ආශිර්වාද කරන පිණිස, තම නිවසට පෙරළා පැමිණි කල, ඔහු හමුවට ආ සාවුල්ගේ දියණිය වූ මීකල්, “අවිනීත විගඩමකු කරන්නා සේ තම මෙහෙකරුවන්ගේ දාස කෙල්ලන් බලා සිටියදී තම ඇඳුම් ගලවා දැමූ ඉශ්‍රායෙල් රජතුමා අද දවසේ කොතරම් තේජස් වී දැ!” යි කීවා ය. එවිට දාවිත්, මීකල්ට පිළිතුරු දෙමින්, “මා එසේ කළේ ස්වාමින්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වශයෙන් ඔබේ පියාට ඉහළින්, ඔහුගේ වංශයේ අන් ඕනෑ ම කෙනකුට ඉහළින්, මා තෝරාගත් ස්වාමින්වහන්සේ ඉදිරිපිටදීයි. ස්වාමින්වහන්සේ ඉදිරිපිට මම සැණකෙළි කරන්නෙමි. මම මීටත් වඩා ‘නොහොබනා’ ලෙස මගේ ම ඇස් හමුවේ අවමානයට ලක්වෙමි. එහෙත් ඔබ කී මේ දාස කෙල්ලන්ගෙන් ගරු බුහුමන් ලබන්නෙමි” යි කීවේ ය. සාවුල්ගේ දියණිය වූ මීකල් ඇගේ මරණ දවස දක්වා ම දරුවන් නො ලද්දී ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 6:14-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය