2 සාමුවෙල් 6:12-19

2 සාමුවෙල් 6:12-19 SCV

“දෙවියන්වහන්සේගේ කරඬුව නිසා ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ටත්, ඔහු සන්තක සියල්ලටත් ආශිර්වාද කර ඇතැ” යි දාවිත් රජුට දන්වන ලද්දේ ය. එවිට දාවිත් පිටත් ව ගොස්, දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවසේ සිට දාවිත් පුර වෙත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආවේ ය. ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන්නවුන් පියවර හයක් තැබූ කල, ඔහු ගවයකු හා තර වහු පැටවකු යාග කළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය. මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ජය ගොස නගමින්, හොරණෑ නද සමඟින් ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ඇතුළු වෙද්දී, සාවුල්ගේ දියණිය මීකල් කවුළුවකින් පිටත බලා සිටියා ය. දාවිත් රජු ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැන පැන නටනු දුටු ඈ තම හදින් ඔහු හෙළා දැක්කා ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙනවුත්, ඒ සඳහා දාවිත් විසින් පිහිටු වන ලද කූඩාරමෙහි ඊට නිසි තැන තැන්පත් කළහ. දාවිත් දවන යාග පූජා හා ශාන්ති පූජා ස්වාමින්වහන්සේ අබියස ඔප්පු කළේ ය. දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කිරීම නිම කළ දාවිත්, සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් ජනතාවට ආශිර්වාද කළේ ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් මුළු සමූහයාට, පුරුෂයින් හා ස්ත්‍රීන් හැම කෙනකුට රොටියක්, මස් කොටසක් හා වියළි මිදි කැටියක් බැගින් බෙදා දුන්නේ ය. ඉන්පසු සියල්ලෝ ම පිටත් ව, එකිනෙකා තම තමන්ගේ ගෙවලට ගියහ.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 6:12-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය