2 සාමුවෙල් 23:8-23

2 සාමුවෙල් 23:8-23 SCV

දාවිත්ගේ බලවත් රණශූරයින්ගේ නාම මෙසේ ය: තහෙක්මොනීය යොෂෙබ්-බෂ්ෂෙබෙත්; ඔහු තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු මිනිසුන් අටසිය දෙනකුට එරෙහිව තම හෙල්ලය ඔසවා, එක් විටෙකදී ඔවුන් මරා දැමී ය. ඔහු ළඟට බලවත් රණශූරයින් තිදෙනා අතරින් අහෝහීය දෝදෝගේ පුත් එලෙයාසර් ය. පස්දම්මීම්හි යුද්ධයට එක් රැස් ව සිටි පිලිස්තිවරුන්ට අභියෝග කරමින්, ඔහු දාවිත් සමඟ සිටියේ ය. සෙසු ඉශ්‍රායෙල් මිනිසුන් පසුබසිද්දී, ඔහු නැගිට, තම අත විඩාබර ව, කඩුවට අත ඇලීයන තෙක් ම පිලිස්තිවරුන් ගසා හෙළී ය. ස්වාමින්වහන්සේ ඒ දවසේ මහා ජයග්‍රහණයක් සලසා දුන් සේක. මියගියවුන්ගෙන් පැහැර ගැනීමට පමණක් හේවායෝ එලියසේර් වෙත ආපසු ආහ. ඔහු ළඟට, හරාරීය ආගේගේ පුත් ෂම්මා විය. කොල්ලුවලින් ගහන කෙතක් තිබූ තැනකට පිලිස්තිවරුන් එකට රැස් වූ කල, හේවායෝ පිලිස්තිවරුන් වෙතින් පලා ගියහ. එහෙත් ෂම්මා, කෙත මැද නො සැලී සිට එය රැක ගනිමින්, පිලිස්තිවරුන් ගසා හෙළී ය. ස්වාමින්වහන්සේ ලොකු ජයක් සපයා දුන් සේක. පිලිස්ති හමුදා සේනාංකයක් රෙෆායිවරුන්ගේ මිටියාවතේ කඳවුරු බැඳ සිටියදී, ප්‍රධානීන් තිස්දෙනාගෙන් තුන් දෙනෙක් අස්වනු කාලයේදී අදුල්ලාම් ගුහාවෙහි සිටි දාවිත් වෙත පැමිණියහ. එදවස්හි දාවිත් හිටියේ බළකොටුවේ ය. පිලිස්ති මුර හමුදාව බෙත්ලෙහෙමේ විය. දාවිත්ට දැඩි ආශාවක් ඇති වී, “අහෝ බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිඳෙන් කවුරුන් හෝ මට බොන්නට දිය ගෙනැවිත් දේ නම්!” යි කීවේ ය. එබැවින් මේ බලවත් රණශූරයින් තිදෙනා පිලිස්ති මුර පොළට කඩා වැද, ඒ මැදින් ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිදෙන් දිය ඇද, දාවිත් වෙත ඒවා ගෙන ආහ. එහෙත් ඔහු ඒවා බොන්නට අකමැති ව, ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවී ය. “අහෝ ස්වාමින්වහන්ස, එසේ කිරීම මගෙන් දුරු වේවා! තමන්ගේ ජීවිත පරදුවට තබා, එහි ගිය මිනිසුන්ගේ ලේ මම පානය කරම් දැ” යි ඔහු පැවසී ය. එබැවින් ඔහු ඒ දිය බොන්නට අකමැති විය. එම බලවත් රණශූරයින් තිදෙනාගේ වික්‍රම එබඳු ය. සෙරූයාගේ පුත් යෝවාබ්ගේ සහෝදර අබිෂයි තිදෙනාගේ ප්‍රධානියා විය. ඔහු මිනිසුන් තුන්සිය දෙනකුට එරෙහිව තම හෙල්ලය ඔසවා, ඔවුන් මරා දැමී ය. මෙසේ ඔහු මුල් තිදෙනා මෙන් කීර්තියට පත් විය. ඒ තිදෙනාට වඩා වැඩි ගරුත්වයක් ඔහු හෙබවී ය. ඔහු ඔවුන්ගේ සෙන්පතියා ද විය. එහෙත් ඔහු ඔවුන් අතරට ඇතුළත් නො විණ. යෙහෝයාදාගේ පුත් බෙනායා, කබ්සෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් විය; මහත් ක්‍රියාකාරකම් කරන්නෙක් විය. ඔහු මෝවබ්හි ප්‍රබලතම විරුවන් දෙදෙනකු ගසා හෙළී ය. හිමෙන් වැසුණු දිනෙක ඔහු වළකට බැස, සිංහයකු මැරී ය. තවද ඔහු හැඩිදැඩි ඊජිප්තු ජාතිකයකු ද ගසා හෙළී ය. බෙනායා ඔහුට එරෙහිව ගියේ මුගුරක් අතැතිව ය. ඊජිප්තුවාගේ අතින් හෙල්ලය පැහැර ගත් ඔහු ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුට ඇන මරා දැමී ය. යෙහෝයාදාගේ පුත් බෙනායාගේ වික්‍රම එබඳු ය. බලවත් රණශූරයින් තිදෙනා සේ ම ඔහුත් නමක් දිනා ගත්තේ ය. තිස්දෙනාගෙන් කවරකුටත් වඩා උසස් වූ ගරුත්වයක් ඔහු දැරූ නමුදු, තුන් දෙනා අතරට ඔහු ඇතුළත් නො විණ. දාවිත් තමාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්‍රධානියා ලෙස ඔහු පත් කළේ ය.