2 සාමුවෙල් 22:26-51

2 සාමුවෙල් 22:26-51 SCV

“විශ්වාසවන්ත අය සමඟ ඔබ ද විශ්වාසවන්ත වූ සේක. නිදොස් අයට ඔබ ද නිදොස් බව දක්වන සේක. පවිත්‍ර අයට, ඔබ පවිත්‍ර බව දක්වන සේක; එහෙත් කෛරාටික අයට, ඔබ විචක්ෂණ වග දක්වන සේක. ඔබවහන්සේ නිහතමානීන් ගලවන සේක. එහෙත් අහංකාර වූවන් පහත් කරන පිණිස, ඔබවහන්සේගේ ඇස් ඔවුන් පිට ය. මන්ද මගේ පහන ඔබ ය, අහෝ ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේ මගේ අඳුර, ආලෝකයට හරවන සේක. ඔබගේ සහාය ඇති ව හමුදාවකට එරෙහිව යන්නට මට හැකි ය. මගේ දෙවියන්වහන්සේ මගින් මට පවුරක් උඩින් පැනිය හැකි ය. “දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. මන්ද ස්වාමින්වහන්සේ මිස, දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර, පර්වතයාණෝ අන් කවුරු ද? දෙවියන්වහන්සේ මගේ ශක්තිමත් බළකොටුව ය; උන්වහන්සේ මගේ මාවත පරිපූර්ණ කරන සේක. උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක. උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක. මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය. “මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් පොඩිකර දැමීමි. ඔවුන් වනසා දැමෙන තුරු, මම ආපසු නො හැරුණෙමි. මම මුළුමනින් ම ඔවුන් තළා, නො නැගිටින ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි; මගේ පා යට ඔවුහු වැටී ගියහ. යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි. ඔවුහු බැලූහ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය. ඔවුහු ස්වාමින්වහන්සේ දෙස බැලූහ; උන්වහන්සේ උත්තර නුදුන් සේක. පොළොවේ ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි. වීදිවල මඩ මෙන් මම ඔවුන් පොඩිකර, පාගා දැමීමි. “මගේ ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක. ජාතීන්ගේ හිස ලෙස ඔබ මා තැබූ සේක. මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති. විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති. මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති. දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා, තම බළකොටුවලින් පිටතට එති. “ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර පර්වතයාණන් වූ මගේ දෙවියන්වහන්සේ උසස් වේවා! මා උදෙසා පළි ගන්නා දෙවියන්වහන්සේ, උන්වහන්සේ ය. උන්වහන්සේ ජාතීන් මා යටතට ගෙන එන සේක; මගේ සතුරන්ගෙන් මා නිදහස් කරන්නේ උන්වහන්සේ ය. මගේ එදිරිවාදීන්ට ඉහළින් ඔබවහන්සේ මා උසස් කළ සේක. සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ බේරූ සේක. එබැවින්, අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි. ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි. “උන්වහන්සේ තම රජ්ජුරුවන්ට මහා ජයග්‍රහණ දෙන සේක. උන්වහන්සේ තම අභිෂේක ලද්දාණන් වන දාවිත්ට හා ඔහුගේ වංශයට, සදාතනික නොමියෙන පෙමක් පානා සේක.”

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 22:26-51 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය